Wednesday, December 25, 2024
Follow Us
මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි – නව අධිකරණ ඇමති කියයි

රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යය බව නව අධිකරණ ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍ය ධුරයෙහි රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව අද ( 19)පස්වරුවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

දුෂණයට වංචාවට එරෙහිව කටයුතු කිරීම හා නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ජාතික ජන බලවේගය ලැබු ජනවරමේ බලගතුම කරුණු දෙකයි. රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. අධිකරණයේ ස්වාධිනත්වය අපි සුරක්ෂිත කළ යුතුයි. කාර්ය මණ්ඩලවල ස්වාධිනත්වය ආරක්ෂා කිරීම අතිශයන් වැදගත් වෙනවා. පසුගිය කාලය තුළ අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය වීම සිදු වු බවට සමාජය තුළ මතයක් තිබෙනවා. අපිට තිබෙන භාරදුර කාර්යයක් වන්නේ නැවත වතාවක් අධිකරණ පද්ධතිය පිළිබදව මහජන විශ්වාසය තහවුරු කිරීමයි. ජනතා විශ්වාසය දිනාගත් අධිකරණ අමාත්‍යාංශයක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, පොලිස් සේවයක් ස්ථාපිත කළ යුතුයි. ඇතැම් අණ පනත් හා නීති සාකච්ඡා කිරීමෙන් අනතුරුව යාවත් කාලීන කල යුතුයි.

ජාතික ජන බලවේගය ලැබු මහජන වරමේ තිබු ප්‍රධානතම සාධකය වන නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමයි. එය ඉතා භාර දුර කාර්යයක් බව අපි අවබෝධ කර ගෙන තිබෙනවා. අමාත්‍යවරයාට, දේශපාලඥයාට කාර්ය භාරයක් මෙන්ම ඔහුගේ බලයට සීමාවක් තිබෙනවා. ඔහුත් නීතියට යටත් විය යුතුයි. ඔබ ලබා දුන් ජනවරම පිළිබදව මොහොතකටවත් පසු තැවීමක් සිදු කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවකයින් වන ඔබ සියලු දෙනා සීයයට අසුවක් වඩා දායකත්වයක් ජාතික ජන බලවේගයට ලබා දුන්නා. මේ රටේ නීතියක් ව්‍යවස්ථාවක් තිබෙනවා. සියලු දෙනා එයට යටත් විය යුතුයි. අපි නව නීති අණ පනත් අත්තනෝමතිකව ගෙන එන්නේ නැහැ . අවශ්‍ය පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අණ පනත් නීති ගෙන එන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

ප්‍රශ්නය –
නඩු ප්‍රමාදය අවම කිරීම සදහා ඔබතුමා ගෙන එන නව වැඩ පිළිවෙළ කුමක්ද?

පිළිතුර – අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් සේවාදායකයාට අවශ්‍ය සේවාව සිදු වන්නේ නැහැ. අධිකරණයට පහසුකම් අවශ්‍යයි. නඩු ප්‍රමාදයට අවශ්‍ය විසදුම් සාකච්ඡා කිරීමෙන් පසුව ගෙන ආ යුතුයි.

ප්‍රශ්නය – නීති ගරුක රටක් නිර්මාණය කිරීම හා නව ව්‍යවස්ථාවක් හදුන්වාදීමේ ක්‍රියාදාමය කෙසේද ?

පිළිතුර – අපේ රටේ නීති ක්ෂේත්‍රය තුළ විශාල පර්යේෂණ සිදු කර තිබෙනවා. එම පර්යේෂණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. පර්යේෂණ සිදු කළ විද්වතුන් සමග සාකච්ඡා නැවතත් සාකච්ඡා කරමින් කටයුතු කරනවා. නීතිගරුක රටක් නිර්මාණය කිරීමට අධ්‍යාපනය ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම පාලකයා ආදර්ශමත්ව පාලකයා නීතියට යටත්ව කටයුතු කළහොත් ජනතාව නීතියට ගරු කරනවා. පසුගිය කාලයේ එහෙම වුණේ නැහැ. මන්ත්‍රිවරයාගේ හිතවත්කම තිබුණා නම් අපරාධකරුවන් නිදහස් වුණා.

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කුමන ආකාරයෙන් සිදු වන්නේද ?

පිළිතුර – පාස්කු ප්‍රහාරය පමණක් නොවෙයි පරීක්ෂණ කිහිපයක් සිදු කරනවා. අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරය නඩු ඇසීම නොවෙයි. නඩු මෙහෙයවන එක නොවෙයි. ඒ සදහා පොලිසීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. නිසි පරිදි නඩු පැවරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා. ඔවුන්ගේ කාර්යභාරය කඩිනමින් සිදු කිරීම සදහා මානව හා තාක්ෂණික පහසුකම් නිර්මාණය කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ කාර්ය භාරයයි. වෘත්තීමය තීන්දු සදහා දේශපාලඥයින් ඇගිලි නොගැසිය යුතුයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට සාර්ථකව සිදු කිරීම සදහා අවශ්‍ය සහාය ලබාදීම අපි කළ යුතුයි.

නීතිපති, ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ, සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සුසන්ත දොඩාවත්ත, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.