Tuesday, December 24, 2024
Follow Us
පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

මහජනයා ඇතර පාපාදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මහනුවර නගරයේදී ඊයේ (22) ආරම්භ විය.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත ගැටඹේ නාගරික ක්‍රිඩාංගණයේ සිට මහනුවර සහස් උයන දක්වාත් අනතුරුව යළි ගැටඹේ කරා පාපාදි සවාරියක් ඊට සමගාමීව ක්‍රියාත්මක විය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් පාපැදි ප්‍රවර්ධන වැඩසටහන දියත් වූ අතර පාපාදිකරුවන් හට පාපැදි මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම ද මෙහිදී සිදුවිය.

බෝ නොවන රෝග වැළැක්වීම හා බලශක්ති පිරිමැස්මේදී පාපාදි සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවන බැවින් ඉදිරි වර්ෂයේදී පාපැදි භාවිතය ඉහළ නැංවීමට මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශය ගෙන ඇති යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මධ්‍යම පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුව, මහනුවර මහ නගර සභාව, ජාතික පාපැදි සංගමය ඇතුලු ආයතන කිහිපයක දායකත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානී පියසේන මහත්මිය, මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එම්.යූ.නිශාන්ත, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය ඇතුලු නිලධාරීන් ද පාපැදි සවාරියට සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හා මධ්‍යම පළාත නියෝජනය කරන ප්‍රවීණ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්වූහ.