Wednesday, April 30, 2025
Follow Us
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිනෙන් දින මෙරට සිදු වන රිය අනතුරු නිසා සිදු වන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ.

අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ මාර්ග භාවිතයේදී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට නියමිතය.

රට තුල සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී විනයගරුක සමාජයක් සහ පුරවැසියකු ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කෙරේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජීය හා ආචාධර්ම අංශ නියෝජනය කරන නිලධාරිහුද, ජාතික රෝහලේ අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා) වෛද්‍ය ඉන්දික ජාගොඩ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිවකුමාර් සහ මහාචාර්ය එච්.ආර්. පසිදු යන මහත්වරු සහ නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) සහ තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.