Tuesday, December 24, 2024
Follow Us
ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරි කී දේ

"රටක වටිනාම වස්තුව එහි පුරවැසියන් වන අතර, ඔවුන් ආරක්‍ෂා කිරීම ඔබගේ ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි. මෙම වගකීම ඔබගේ මනසෙහි ගැඹුරින් කාවැදී තිබිය යුතු අතරම ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම ඔබගේ මූලික වගකීමයි" නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී පසුගියදා(21) පැවති විසිරයාමේ පෙළපාලියේදී නව අධිකාරි ලත් නිලධාරින් අමතමින් ප්‍රකාශ කළේය.

"ඔබ සැම සාමාන්‍ය රාජකාරියකට සාපේක්‍ෂව විශාල වගකීමක් දරනු ලබයි. ඔබගේ කැපවිම, නොසැලෙන අධිෂ්ඨානය, නායකත්ව ගුණාංග සහ ස්වයං විනය ඉදිරි වසරවලදී ජාතියේ ප්‍රතිෂ්ඨාපනය සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත."

"පසුගිය සැප්තැම්බර් සහ පසුව නොවැම්බර් මාස වලදී ආණ්ඩු පක්‍ෂයට දැවැන්ත ජනවරම් දෙකක් ලැබුණි. ජනතාව විසින් එලෙස තෝරාගනු ලැබූ ජනාධිපතිවරයා සහ රජය සෑම තරාතිරමකම නිවැරදි දේශපාලන නායකත්වය ලබා දෙනු ඇත."

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (දෙසැම්බර් 21) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධික‍ාරි ලත් නිලධාරින් විසිරයාමේ පෙළපාලිය අමතමිනි.

දෙවන ලුතිනන් නිලයෙහි අභිනවයෙන් අධිකාරි ලත් නිලධාරීන් 222 ක් අතරින් පිරිමි නිලධාරින් 203 ක් වන අතර, කාන්තා නිලධාරිනියන් 19 ක් ද වේ. මේ අතර කෙන්යාව, උගන්ඩාව, ගැම්බියාව සහ සැම්බියාව යන රටවලින් පැමිණි කැඩෙට් නිලධාරින් 10 දෙනෙකු ද වූහ. මිට අමතරව, ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාපීඨය හා නිලධාරින් පුහුණු කිරීමේ විද්‍යාපීඨය, බංග්ලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨය වැනි කීර්තිමත් හමුදා අධ්‍යයන ආයතනවල විදේශීය පුහුණුව සම්පූර්ණ කල ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරින් 10 දෙනෙකු ද අධිකාරියෙහි පිහිටුවන ලදී.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් සිල්වෙස්ටර් පෙරේරා විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් දිනයේ කටයුතු ආරම්භ විය. අනතුරුව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමේ සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්විය.

එහිදි සභාව අමතමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්‍ෂක අමාත්‍යවරයා ද වන අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්, යුද්ධයක් ජයග්‍රණය කල අප රටේ මෙම ඉතා ගෞරවාන්විත හමුදා වෘත්තියට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රශංසා කල අතර, මේවන විට රටේ පවතින සාමකාමි වාතාවරණය තුළ පවා ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් සේවයට එක්වීමට ලබාගත් මෙම සුවිශේෂී තිරණයට සහාය විම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

“අපගේ මාතෘභූමිය විවිධ අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක ඔබ යුද හමුදාවට සම්බන්ධ වී ඇත. වසර 15කට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට සාමකාමි පසුබිමක තිබියදීත්, ඕනෑම අවස්ථාවකට ඇතිවිය හැකි අභියෝගයකට සාර්ථකව මුහුණ දීම සඳහා අප රටේ ආරක්‍ෂාව සහ සාමය පවත්වා ගත යුතුය."

සිවිල් සමාජයේ සිටින පුද්ගලයෙකු යුද්ධෝපක්‍රමයන්ගේ අති දක්‍ෂ හමුදා නිලධාරියෙකු බවට පරිවර්තනය කිරීමේදී ඔවුන් වෙත ලබාදෙන පුහුණුවේ වැදගත්කම සහ ජාතියේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා අලුතින් පත්කරන ලද මෙම නිලධ‍ාරින් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් අවධාරණය කළේය. තවද, අර්බුදකාරි තත්ත්වයන්ගෙන් රට මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව දැක්වූ දායකත්වය අගය කල ඔහු, ජාතිය ගොඩනැගීමේ අභියෝගවලට මුහුණ දීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය තර්ජන හමුවේ මුහුණ දීමට හමුදා නිලධාරීන් සතුවිය යුතු සූදානම පිළිබඳව මෙන්ම, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වලට සම්බන්ධව වසර ගණනක් මුළුල්ලේ විදෙස් රටවල සුවිශේෂී සේවාවක් සිදුකරන ශ්‍රී ලංකා භට පිරිස් පිළිබඳව ද සිහිපත් කළේය.

එමෙන්ම, මෙම විද්‍යාපීඨයෙහි පුහුණුව ලබා දෙන කාලය තුළ පුහුණු නිලධාරින් හට ලබාදෙන න්‍යායාත්මක දැනුම, විශිෂ්ඨ පුහුණුව සහ ඒ තුලින් සංවර්ධනය කෙරෙන ධනාත්මක ආකල්ප පිළිබඳව තමා විශ්වාස කරන බවත්, එමඟින් මෙම තරුණ නිලධාරින් හට තම මාතෘ භූමියට ඔවුන්ගෙන් ඉටු කෙරෙන උදාර යුතුකම ගෞරවයෙන් හා විශිෂ්ඨ අයුරින් ඉටු කිරීමට හැකිවනු ඇති බවත්, ප්‍රකාශ කළේය.

විසිරයාමේ පෙළපාලියට සමගාමීව අධිකාරි ලැබීමට ප්‍රථම, කැඩෙට් නිලධාරින් ලෙස සිදුකරනු ලබන අවසන් ඉදිරිපත් කිරීම "ශ්‍රී ලංකාවට සහ දකුණු ආසියාවට ජාත්‍යන්තර අපරාධවලින් එල්ල වන තර්ජන ඒ සඳහා ආරක්‍ෂක හමුදාවන්ගේ කාර්යභාරය" යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ‘චීන - ලංකා මිත්‍රත්ව’ ශ්‍රවණාගාරයේ දී රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙම ඉදිරිපත් කිරීම ඔස්සේ ඉස්මතු කල ජාතික සහ කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීමේ දී ඇති වැදගත්කම පිළිබඳ කරුණු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

මෙරට සන්නද්ධ හමුදාවන්හී කීර්තිමත් අධ්‍යාපනික ආයතනයක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, ජාතියේ ආරක්‍ෂාව උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වන යුද්ධ හමුදාව සඳහා අවශ්‍ය නායකයින් සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව දායකත්වය දක්වනු ලබයි. විසිර යන එම නව නිලධාරින් ජාතියේ සැබෑ ආරක්‍ෂකයින් ලෙසත්, ජාතිය ගොඩනැගීමේ අභියෝග සහ කාර්යයන් සඳහා කැපවූ දූ පුතුන් ලෙසත්, සිය සේවය සිදුකරනු ඇත.

ඊයේ දින පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, මෙරට තිබෙන විදෙස් තානාපති කාර්යාල වල ආරක්‍ෂක උපදේශක නිලධාරින් සහ විසිර යන නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.