Thursday, December 26, 2024
Follow Us
මැතිවරණ ප්‍රතිපත්ති ගැන සංවාදයකට එන්න -ඇමැති බන්දුලගෙන් අභියෝගයක්

අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට ව්‍යවස්ථාදායකයේ සියලුම සාමාජිකයින් එකඟ වූ ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කර ගෙන තිබෙනවා.

- එම ජාතික ප්‍රතිපත්තිය සහ තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනත් සමඟ ප්‍රසිද්ධ සංවාදයකට එන්න

- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ 2048 දී පොහොසත් රටක් බවට පත් කිරීමේ මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමටයි
      ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට ව්‍යවස්ථාදායකයේ සියළුම සාමාජිකයින් එකඟ වූ ජාතික ප්‍රතිපත්තියක් නීතියක් බවට පත් කර ගෙන තිබෙන බවත් එම අණපනත් වලින් සකස් කර තිබෙන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව  දුප්පත්කම තුරන් කළ පොහොසත් රටක් බවට පත් කිරීමේ මාර්ග සිතියම බවත් ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ එම මාර්ග සිතියම හරියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා මිස කිසිදු පක්ෂයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට නොවන බවද අමාත්‍යවරයා  සඳහන් කළේය.

ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ  කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (06) පැවැති මාධ්‍ය හමුවේදීය.

පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන ජාතික ප්‍රතිපත්තිය සමඟ තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙන ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට ආරාධනා කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේදේශපාලන වැඩසටහන් වෙන් කරන බවද අවධාරණය කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා  මෙසේද  පැවසීය

2022 වසරේදී මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීමෙන් පසු ආර්ථික වර්ධන අනුපාතය සෘණ 7.8දක්වා පසුපසට ගමන්  කිරීම නිසා රටේ විදේශ සංචිත සිඳී ගියා. ඒ හේතුවෙන් ආනයනය සඳහා මෙරට ණයවර ලිපිවලට ජාත්‍යන්තරයේ පිළි ගැනීම අහිමි වුණා. ඒ සමඟ ඛනිජ තෙල්,ගෑස්, ආහාරපාන, යන්ත්‍ර සූත්‍ර හෝ අමතර කොටස් නැති විශාල ආර්ථික ව්‍යසනයක් ඇති වුණා.

ඒ ආර්ථික ව්‍යසනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයත්, පාර්ලිමේන්තුවත් බේරා ගැනීමෙන් පසු රට බේරා ගැනීම සඳහා කෙටි කාලීන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය අරමුදලක් ලබා ගැනීම වෙනුවෙන් වැඩසටහනකට එළඹුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණ විස්තීරණ ණය ගිවිසුම අනුව 2025, 2026 සහ 2027 යන වර්ෂ තුන කටයුතු කිරීමට සිදු වන්නේ එම ණය ගිවිසුම අනුවයි. උදාහරණයක් වශයෙන් ගත හොත් එම ණය ගිවිසුම නැත්නම් 2025 වසරේ ඇයවැය ලේඛනය සකස් කළ නොහැකියි. 2025 වසර සඳහා තව මාස හතරකින් බාහිර විදේශ සම්පත් පරතරය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදල පියවා ගැනීමට සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 663ක විස්තීරණ 
ණය පහසුකමත්, අයවැය ලේඛනය සකස් කිරීමට සහයෝගය සඳහා  ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 700ත්, ලෝක බැංකුවෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 400ත් , ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන  300ත් සමඟ ණය ආපසු නොගෙවීම හේතුවෙන් ණය සහනයක් ලෙස ලැබෙන ඩොලර් මිලියන 3655 ක මුදලේ එකතුවෙන් බව කිව යුතුයි.

මේ රටේ කවුරු ජනාධිපති වුනත්, කවුරු ආණ්ඩුව ගත්තත් 2027 වර්ෂයේදී බාහිර සම්පත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3911ක  හිඟයක් ඇති වන බවට පුරෝකතනය කර තිබෙනවා. එය ලබා දීමට  මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මුදල් අමාත්‍යාංශය අත්සන් කර තිබෙන ගිවිසුම් ප්‍රකාරව දිගු කළ අරමුදල් පහසුකම යටතේ ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 329යි. 
2027 වර්ෂයේ අයවැය ලේඛනය සකස් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ලැබෙනවා. ලෝකබැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 300කුත් , ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන  300කුත් ලබා දෙනවා.ඩොලර් මිලියන 1482ක ණය සහනයක් ලැබෙනවා. ඒ නිසා 2027 වසරේදී රට පවත්වා ගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් මදි වෙනවා. එය ඉතා විශාල මුදලක් බවද කිව යුතුයි.

මෙරට විශාලතම ආයෝජනය වන කොළඹ වරාය නගරය ඉදි කිරීමට ආයෝජනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4යි. අපිට 2027 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් මදි වෙනවා . ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එම ගිවිසුම හරහා  අපට ඉඩ දී තිබෙනවා. එහිදී අපට කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා.

2027 දී එය ලබා ගැනීමට නම් 2025 වර්ෂයේදී අප සතු විදේශ වත්කම් ඩොලර් බිලියන 8ටත් 2026 වර්ෂයේ දී ඩොලර් බිලියන 10ටත් වැඩි කළ යුතුයි. ඒ වගේම 2027 වසරේදී ලංකාව සතු විදේශ සම්පත් වත්කම ඩොලර් බිලියන 14ක් වුනොත් පමණයි ජාත්‍යන්තරයට ගොස් ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කර ණය ලබා ගත හැකි වන්නේ. එම කොන්දේසි සැපිරීමට නොහැකි නම් කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩුවත් එතනින් එහාට පවත්වා ගෙන යාමට හැකි වන්නේ නැහැ.

ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තර්ජාතික මැදිහත්වීම මත ජපානයත්,ඉන්දියාවත්, ප්‍රංශයත්, නිල ණය කමිටුව (ඕ.සී.සී) ලෙස රැස්වී, ප්‍රංශයේ ලසාට් සමාගම,  නීතිමය කටයුතු සඳහාක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දීර්ඝ කාලීනව විශාල උත්සාහයක නිරත වී රටවල් සමඟ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගිවිසුමවලට එළඹුණා. මේ වර්ෂ තුන ණය නොගෙවා සිටීමට අවස්ථාව ලැබී 
තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

2028 වසරේ සිට ණය ගෙවීම ආරම්භ කරන විට මෙරට විනිමය අනුපාත කඩා නොවැටී පවත්වා ගෙනයාම සඳහා ආර්ථික පරිවර්තන විධි විධාන රාශියක් ලොව ආර්ථික විශේෂඥයන් මෙරට විශේෂඥයන් සමඟ සකස් කර රට අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස නියම කරනු ලැබුවා. ඒ අනුව 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනත මේ වසරේදී අප විසින් සම්මත කර ගෙන තිබෙනවා.   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙල මෙයයි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් මෙම නීතියේ ප්‍රධාන අරමුණු 3ක් තිබෙනවා. එහි නිශ්චිත ඉලක්ක තිබෙනවා. වසර 2032 වන විට රටේ නොපියවා ඇති මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95%ට අඩු විය යුතු අතර එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුයි. එසේම රජයේ දළ මුදල් සැපයීමේ අනුපාතය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13% ඉක්මවිය නොහැකියි. තවද විදේශ ණය වාරික හා පොලී ගෙවීම්ණය සේවාකරණය  දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ට වඩා වැඩි විය නොහැකියි. ඒ වගේම 2032 වර්ෂය වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් හෝ ඊට වැඩි විය යුතුයි. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 1%කට වඩා වැඩි විය නොහැකියි. එසේම එම වසර වන විට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තයක් ඇති කර ගත යුතුයි.

එසේම 2027 සිට ආර්ථික වර්ධන අනුපාතය 5%ක් හෝ ඊට වඩා වැඩි විය යුතුයි. විරැකියාවේ අනුපාතයද 5%ට වඩා අඩුවෙන් පවත්වා ගෙන යා යුතුයි. තවද කාන්තා ශ්‍රම සහභාගීත්වය 40% වඩා වැඩි විය යුතුයි. ඒ අනුව උද්ධමනය තනි ඉලක්කමට පත් වෙනවා. ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා.

ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය, කෘෂි නවීකරණය ආදිය ඇතුළත් වන්නේත් මේ පනතේයි. එසේම මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන ක්ෂණිකව අනුමත කළ හැකිවන පරිදි නව ආයතනය ඇතුළු නව ආයතන කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා. ජාතික ආර්ථික කොමිෂන් සභාව, නිදහස් වෙළෙඳ කලාප හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ කාර්යාලය, ජාතික ඵලදායීතා කාර්යාංශය, ආර්ථික විද්‍යා හා විදේශ වෙළඳාම් ආයතනය වැනි ආයතන ලබන වසරේදී ස්ථාපිත කිරීමට නියමිතයි. එසේම මෙම පනත ක්‍රියාත්මක වන බවට කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අන්තර්ගත කර තිබෙනවා. ඒ අනුව ආර්ථිකය පරිවර්තනය කිරීම පිළිබඳ අදාළ ආයතන මෙහෙය වීමට කැබිනට් මණ්ඩලය වගකීම ගත යුතු වෙනවා.

අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට ව්‍යවස්ථාදායකයේ සියළුම සාමාජිකයින් එකඟ වූ ජාතික ප්‍රතිපත්තියක් නීතියක් බවට පත් කර ගෙන තිබෙනවා. ඊට සමගාමීව තවත් ප්‍රධාන පනත් 4ක් ද සම්මත කර තිබෙනවා.මෑත ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම මුදල් අච්චු ගසා තිබෙනවා. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනතින් මීන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් ගැසීම තහනම් කර තිබෙනවා. මරණීය තර්ජන කරලා මුදල් අච්චු ගහන්න කිව්වත් මින් පසුව ශ්‍රී ලංකා මහා බැංකුවට හා අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් අච්චු ගහන්න බැහැ.

එසේම 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමණාකරණ පනත මඟින් දේශපාලනඥයන්ට, ආණ්ඩුවලට හිතෙන හිතෙන ආකාරයට මින්පසු ණය ගැනීම අවහිර කර තිබෙනවා.

තවද 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත අනුව අයවැය ලේඛනයට දේශපාලනඥයෝ මැතිවරණ වේදිකාවල දෙන පොරොන්දු ඇතුළත් කරන්න බැහැ. ආර්ථික  පරිවර්තන පනතේ ඉලක්ක වලට පටහැනි දේ මැතිවරණ වේදිකාවල කිව්වත් මේ නීතිය  අනුව  ඒවා කිසිවක් කරන්න බෑ. මේ සඳහා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් තිබෙනවා. එහි විෂයානුබද්ධ විශේෂඥ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් ආණ්ඩු කිව්වට කරුණු ඇතුළත් කරන්නේ නෑ. අයවැයට යම් දෙයක් ඇතුලත් කල හැකි වන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනතට අනුව පමණයි. අයවැය සකස් කිරීමේ විධි විධාන පිළිබඳව එහි ඇතුළත් වෙනවා.

2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතක් සම්මතද කර තිබෙනවා. එය ඉතාම ශක්තිමත් පනතක්. රාජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පලාත් පාලන ආයතන නියෝජිතයන්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් වත්කම්  හෙළිදරව් කළ යුතුයි.  ඒ වගේම මාධ්‍ය ආයතනයකට මුදල් ලැබෙන ක්‍රමය ප්‍රකාශ  කළ යුතුයි.

මේ අණපනත් වලින් සකස් කර තිබෙන්නේ රට වැටුණු තැනින් ගොඩට අරන් 2048 වන  විට ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 20000ට වැඩි, දුප්පත්කම නැති පොහාසත්  රටක් බවට පත් කිරීමේ මාර්ග සිතියමයි .


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයෙක්  ලෙස ඉදිරිපත් වන්නේ එම මාර්ග සිතියම හරියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා මිස කිසිදු පක්ෂයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට. එතුමා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මෙම ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි.


පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන ජාතික ප්‍රතිපත්ති පිලිබඳ තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනත් සමඟ ප්‍රසිද්ධ පුළුල් සංවාදයකට එන ලෙස මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට මා ආරාධනා කරනවා.

ප්‍රධාන අපේක්ෂකයන්ට සහභාගී වීමට නොහැකි නම් විෂයානුබද්ධ නියෝජිතයෙක් යොමු කරන ලෙස මා ආරාධනය කරනවා. ඒ සඳහා ජාතික රූපවාහිනියේ සඳුදා තියෙන දේශපාලන වැඩසටහනත්, ස්වාධීන රූපවාහිනි‍යේ බදාදා රාත්‍රියේ පැවැත්වෙන දේශපාලන සංවාදය වැඩසටහනත් යොදා ගත හැකියි.