Saturday, October 19, 2024
Follow Us
රාජ්‍ය පාලනයට නව පරපුරේ අදහස් ලබා ගන්නවා- ජනපති රනිල්

නව පරපුරේ  කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්,  දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර  එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා පැවසීය.



ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ  අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමිනි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.


රටේ හෙට දවස භාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදි වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බවත්,  ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීම Freelancing, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍යපසුබිම සකසා දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

එසේම දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

තමාට අවශ්‍ය Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා “පුළුවන් ශ්‍රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙන බවද පෙන්වා දුන්නේය.