Saturday, October 19, 2024
Follow Us
මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස නඩු මගට

ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 109ක් ලෙස තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ තීරණය කර ඇත.

තංගල්ලේදී අද (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් විස්ස හෝ ඊට ආසන්න සාධාරණ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලෙස ඉල්ලා සිටීම ද මෙලෙස නඩු පැවරීමට හේතු වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කළේය. එමෙන්ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව හරස් වී ඇති බවද ඔහු කීවේය.

“2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීති විරෝධී ලෙස ඉපයූ දේපළ, රජයේ දේපළ, විදේශීය රටවලින් සහ සංවිධානවලින් මුදල් එවන්නේ මේ රටේ දේශපාලන ක්‍රමය අස්ථාවර කර බිඳ දමන්නයි. පාතාලයේ සහ කුඩු මුදලාලිලාගේ කුඩු සල්ලි, අනන්‍යතාව හෙළිදරව් නොකරන මුදල් මැතිවරණයේදී භාවිත කිරීම තහනම්.

වටිනා නීතියක් ගෙනත් රටේ ජනතාව බලාපොරොත්තු වූ දේ මැතිවරණ කොමිෂම රිවස් කළා. මැතිවරණයේදී මුදල් වියදම් කිරීම ගැන ක්‍රමවේදය අපි පනතෙ ඇතුළු කළා. ඒත් එය නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව තීන්දුවක් ගන්න බලය දී තියෙනවා. අපිට පැහැදිලිවම පේනවා නීතිය අයුතු විදියට අර්ථ නිරූපණය කිරීමක් සහ වැරදි විදියට ගණන් නිගමනය කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව කර තියෙනවා.

රුපියල් තුන්සීය හාරසීය ඉල්ලපු අපේක්ෂකයෝ කවදාවත් මුදල් ඉපයූ අය නෙවෙයි. ආදායම් බදු ගෙවන අය නෙවෙයි. ගිණුම්වල මුදල් නැහැ. එහෙනම් මේවා කළු සල්ලි. මැතිවරණය අවසානයේ ඉදිරිපත් කරන දිවුරුම් පෙත්සමේ ඒ මුදල් ප්‍රමාණය වියදම් කළ හැටි සහ ආව හැටි ඉදිරිපත් කරනවා කියලා. එය අනිවාර්යයි. ජයග්‍රහණය කළ කෙනාද නැති කෙනාද කියලා අදාළ නැතුව ගිණුම්වල යම් වැරැද්දක් තියෙනවා නම් ඒ තැනැත්තන් සිරගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන පනතට ඇතුළු කර තියෙනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ගේන අපේක්ෂකයෝ අමු අමුවේ නීති උල්ලංඝනය කරලා තමන්ගේ උපදේශකයා, තමන් ළඟ සිටි ඇමැතිවරයා, මන්ත්‍රිවරයා අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කර තියෙන්නේ යම් තැනැත්තෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නයි. මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදීම නීතිය උල්ලංඝනය කරලා මේ රටේ නීතියක් ගෙනියන්න ජනාධිපති ධූරය ඉල්ලන මිනිස්සුන්ට පුළුවන්ද?”

Aruna