Saturday, October 19, 2024
Follow Us
මධ්‍යම පරිසර අධිකරියෙන් ඉල්ලීමක්

වගකීමෙන් යුතුව විධිමත්ව කසළ බැහැර කරන ලෙස මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. 

මෙවර මහනුවර ඇසළ පෙරහැර 2024 අගෝස්තු මස 10 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට ටොන් තුනක පමණ ප්‍රමාණයක පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වේ. එම නිසා වසර ගණනාවක් මුළුල්ලේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව සහ මහනුවර පොලීසිය යන ආයතන වල ප්‍රධානත්වයෙන් කසළ කළමනාකරණ වැඩසටහක් ක්‍රියාත්මක කර ඇත. 

මෙහිදී, මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාතේ පාසල් 30ක පමණ පරිසර නියමු දරුවන් යොදා ගනිමින් වීථි නාට්‍ය, විරිඳු, ගීත නාටක සහ නැටුම් ආදී විශේෂාංග යොදා ගනිමින් අගෝස්තු මස 10, 14, සහ 15 සිට 19 වැනි දා දක්වා කසළ කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 

 කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කිරීමෙන් ද පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කිරීමෙන් ද පරිසර රැකගැනීමට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු බැතිමතුන්ට සිහිපත් කර සිටී.