Sunday, March 09, 2025
Follow Us
හෙට අනිද්දා කාලගුණයේ වෙනසක්

මාර්තු මස 10, 11 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.