Sunday, March 09, 2025
Follow Us
 උතුරේ අක්‍රිය වූ ආයතන රැසක් සක්‍රිය වෙයි

ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඩු දායකත්වයක් සැපයූ එහෙත් විශාල ලෙස දායක කර ගත හැකි උතුරු පළාත වෙත සංවර්ධනය ගෙනයාම අරමුණු කරගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රීයව පැවති රජය සතු ආයතන කිහිපයක් නැවත සක්‍රිය කිරීමට හැකි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


තවදුරටත් නව සැලැස්මක් අනුව යෝජිත නව කර්මාන්තපුරයන් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කිරීමේ කටයුතු මෙන්ම දැනට පවතින ගැටලු සොයා බලා විධිමත් සහ කාර්යක්ෂම ලෙස අවශ්‍ය පියවර වෙනුවෙන් පසුගියදා (07) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායක් සමඟ උතුරේ සිදු කළ සංචාරයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


මෙම පිරිස උතුරු පළාතේ කන්කසන්තුරය කර්මාන්තපුරය, දැනට අක්‍රියව ඇති සිමෙන්ති කර්මාන්තශාලාව ඇතුලු ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්ව සිටියහ.
නව පියවරක් ලෙස නැවත නුදුරේදීම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීම, යෝජිත කර්මාන්තපුර ලෙස සංවර්ධනය කිරීමට නියමිත කන්කසන්තුරේ , මාන්කුලම් සහ පරන්තන් කෙමිකල් ආයෝජන කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ජා සිදු කිරීමටත් නිලධාරින් සමග එම ස්ථානයන් නිරීක්ෂණය කිරීමත් මෙම නිරීක්ෂණ සංචාරයේදී සිදු විය.


මෙහිදී ඉදිරි කටයුතු සහ පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර අක්‍රියව විනාශ වී පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව පසුගියදා (07) යළි පණගැන්වීමට හැකි වූ අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


මෙමගින් නව රැකියා අවස්ථා රාශියන් ප්‍රදේශයේ ජනතාවට හිමි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටේ සමස්ත සියලු ජනතාව ශ්‍රී ලංකියයන් ලෙසින් ජාති ආගම් බේදයකින් තොරව රටේ ආර්ථියක සඳහා දායක කරගැනීම, කොටස්කරුවන් කර ගැනීම ආණ්ඩුවේ අරමුණ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම අවස්ථාට ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතා, උතුරු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඇතුළු නිලධාරිහු රැසක් සහභාගී වූහ