Monday, October 28, 2024
Follow Us
IMF ණය ගන්න චීනයෙන් සහය - තානාපති, අගමැතිට කියයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් අතර හමුවක් පැවැත්වුණා. ඒ, කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එහිදී චීන අග්‍රාමාත්‍ය ලී කේක්වෑන්ග් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත එවන ලද සුභාශිංසන පණිවිඩයක් ද චීන තානාපතිවරයා විසින් එහිදී නිල වශයෙන් භාර දී තිබෙනවා.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, කෘෂිකාර්මික හා සංස්කෘතික සබඳතා, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදයට චීනය ලබාදෙන සහන අගයමින් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් අත්‍යවශ්‍ය සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්ති, වාරි කර්මාන්තය හා ජලසම්පාදන ක්ෂේත්‍රවල ආයෝජනයන් අපේක්ෂා කරන බවයි. එමෙන්ම දැනට පසුබෑමකට ලක් වී ඇති චීන සංචාරකයන් නැවත ලංකාවට යොමුකිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද චීන තානාපතිවරයා එහිදී අග්‍රාමා්‍යවරයා හමුවේ පවසා තිබුණා.

චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවයි චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

Neth