Monday, October 28, 2024
Follow Us
ජනපති රනිල් ළඟදීම චීනයට යයි

පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පුද කළ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීන ආධාර ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයන් මෙන්ම ආර්ථික සංවර්ධනයට බොහෝ සෙයින් උපකාරී වූ බවයි. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දරුණු මූල්‍ය තත්ත්වයට චීනය වගකිව යුතු යැයි අමෙරිකාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පසුබිමකයි.

කෙසේවෙතත් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසන්නේ චීන ශ්‍රී ලංකා සමීප ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට ශ්‍රී ලංකාව විශ්වාසයෙන් පසුවන බවයි. ඉදිරි මාස කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය ඇතුළු මිත්‍ර රටවල සංචාරය කිරීමට නියමිත බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේවෙතත් ඉන්දිය සංචාරයකට පෙර ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනවාදැයි නිල ප්‍රකාශයක් සිදුවී නැහැ.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව චීනය බවට ඇතැම් බටහිර මාධ්‍ය සිදුකරන වාර්තාවන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් දරුණු මූල්‍ය තත්ත්වයට චීනය වගකිව යුතු බවට පැවසීම අතිශයින් සාවද්‍ය බවයි.

සෙසු රටවල් ශ්‍රී ලංකාවට සහය වීමට අකැමැති හෝ නොහැකි වූ අවස්ථාවක, යුද්ධය අවසන් වීමෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව චීනයේ සහය පැතූ බවත් අද එමඟින් රටේ යටිතල පහසුකම් සංවර්ධනය වී ඇති බවත් පාලිත කොහොණ පවසනවා. හම්බන්තොට වරාය “ණය උගුලක්” බවට විදෙස් මාධ්‍ය හඳුන්වාදී ඇති නමුත් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසා ඇත්තේ එය අතිශයෝක්තියක් බවයි.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී චීනයට චෝදනා කළා. ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සාවෝ ලිචියෑන් පවසා ඇත්තේ අමෙරිකාවේ ඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය සහ විදේශ ප්‍රතිපත්ති, ලොව පුරා රටවලට හානියක් කර ඇති බවයි.

Neth