Monday, October 28, 2024
Follow Us
ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට නැති වුණේ ඉන්ධන ගැටලුව නිසා බව හෙලිවෙයි

2022 ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, පළමු වරට එය තහවුරු කර ඇතැයි ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා.

ඒ අනුව, අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වෙන නමුත් එහි සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පැවසුවේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් නමුත් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කළ බවයි.

ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය යන රටවල් සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරඟාවලි සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙනවා. නමුත් ආසියානු කුසලානය වැනි කණ්ඩායම් කිහිපයක තරඟාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදයට බවටයි ක්‍රීඩා මාධ්‍ය භාවිතා කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාද පවසා ඇත්තේ කණ්ඩායම් දෙකකට සත්කාරකත්වය සැපයීම, කණ්ඩායම් දහයකට සත්කාරකත්වය සැපයීමට සමාන නොවන බවයි. ඔවුන් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් ලබා දිය යුතු බවත් සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු වෑන් රථයක් ලබා දිය යුතු බවත් කළමනාකරුවන්ට මෙන්ම අනුග්‍රාහකයන්ටද ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් සහතික කළ යුතු බවත් විදුලි ජනන යන්ත්‍රවලට මෙන්ම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන සොයා ගැනීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ.

අවසන් වරට 2018 වසරේ පැවති ආසියානු කුසලානය මෙවර විස්සයි 20 තරඟ රටාවට පැවැත්වෙනවා. ඒ, ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියට සුදානමක් ලෙසයි.

මෙවර ආසියානු කුසලානය ආරම්භ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං අතර සුදුසුකම් ලැබීමේ තරග වටයකින්. ජයග්‍රාහකයා ප්‍රධාන තරඟාවලියට ගොස් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමඟ තරඟ කරනු ඇත.

Neth