Monday, October 28, 2024
Follow Us
දේශපාලන අවුල ලිහෙන තුරු IMF සහනය ලංකාවට නොලැබේවි

මුදල් ආපසු ගෙවන බවට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් ඕන


රටේ පවතින දේශපාලන අවුල් සහගත තත්ත්වය අවසන් වනතුරු ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ණය සහනයක් ලබානොදෙනු ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙබෝරා බුටිගම් (Deborah Brautigan) පෙන්වා දෙයි.

රටක ප්‍රචණ්ඩව අර්බුදකාරී වාතාවරණයක් පවතින විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට රජයත් සමග අන්තර් ක්‍රියා කළ නොහැකිය. එබැවින් රජය ස්ථාවර වනතුරු රටට නිශ්චිත මුදල් ඇමැතිවරයෙක් පත්කරන තුරු මූල්‍ය අරමුදල සමග නිල වශයෙන් සාකච්ඡා නොපැවැත්වෙනු ඇත.’ යැයි මහාචාර්යවරයා පසුගියදා CNBC පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කළාය.

මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ සිය මුදල් ආපසු ගෙවන බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් අවශ්‍ය බවයි. තමන්ගේ ණය ආපසු නොගෙවන පසුබිමක මූල්‍ය අරමුදල එවැනි රටකට ණය ලබානොදෙනු ඇති බවත් රටේ මූල්‍ය තත්ත්වය ‘පිළිවෙළකට’ පවත්වා ගැනීම සහ ආදායම් සහ වියදම් නිසි පරිදි පියවා ගැනීමට රටට හැකියාවක් පැවැත්විය යුතු බවත් මහාචාර්ය ඩෙබෝරා පවසා ඇත.

‘එම නිසා ශ්‍රී ලංකාවට සහතිකයක් ලබාදිය නොහැකි නම් මූල්‍ය අරමුදල වෙතින් කිසිවක් නොලැබෙනු ඇත. එසේම අර්බුදය පවතින තාක් කල් ශ්‍රී ලංකාවට අවශ්‍ය දේ සැපයීමට නොහැකිවනු ඇත.’ යැයිද මහාචාර්යවරිය CNBC පුවත් සේවයට වැඩිදුරටත් පවසා ති​බේ.

Aruna