Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ජගත් මානව හිමිකම් කොමිසමත් අවධානයෙන්

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමි බලය පැවරීමට යොමු වන්නැයි මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ට්විටර් පණිඩිවයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව හා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවයි. මානව හිමිකම්වලට ගරු කරමින් සංයමයෙන් කටයුතු කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙරට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.

මේ අතර සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය තරයේ හෙළා දකින බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුවක් තුළින් සාමකාමී බලහුවමාරුව මගින් වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා ඉල්ලීම් ඉටු කර ගත හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ස්විට්සර්ලන්ත රජය එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන හේතූන් මත ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම හා දේශපාලන අර්බුදය, දැවැන්ත මහජන විරෝධතාවලට හේතු වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ බහරේනය ද සිය පුරවැසියන්ට දැනුම් දී ඇතැයි එන් ඩී ටීවී පුවත් සේවය අද වාර්තා කළා. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඖෂධ, ඉන්ධන, ගෑස් සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල පවතින හිගය ශ්‍රී ලංකාවේ ජන ජිවිතයට දැඩි බලපැම් එල්ල කර ඇති බවයි ඔවුන් වාර්තා කරන්නේ.

Neth