Monday, October 28, 2024
Follow Us
රුසියාවෙන් තෙල් ගන්න විදියක් නෑ

දෙරටේ ගනුදෙනු වලට SWIFT හරහට හිටී


රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා විවිධ මාර්ග ඔස්සේ ඉල්ලීම් කළද දැනට දෙරටේ බැංකු පද්ධති භාවිත කරන හුවමාරු මාධ්‍යයන්වල පවතින ගැටලු හේතුවෙන් කිසිදු ආකාරයකට රජයන් දෙක අතර ඉන්ධන ගනුදෙනුවකට අවස්ථාවක් නොමැති බව ‘අරුණ’ කරන ලද විමර්ශනවලදී අනාවරණය වේ.

මෙලෙස රුසියාවෙන් ශ්‍රී ලංකාවට සෘජුව ඉන්ධන ගෙන්වීමට ඇති ප්‍රධානම බාධාව වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුසියානු බැංකු සමග ගනුදෙනු කිරීම සඳහා භාවිත කරන SWIFT නමැති ක්‍රමවේදය ඒ වෙනුවෙන් උපයෝගී කරගත නොහැකිවීමයි.

SWIFT යනු ශ්‍රී ලංකාව රුසියානු බැංකු සම්බන්ධ කරන එකම මාධ්‍යය වන අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග එක්සත් ජනපදය විසින් එම SWIFT ක්‍රමවේදයට බාධා කර ඇත. එම නිසා දෙරට අතර සිදු කරන ගනුදෙනුවලදී ගෙවීම් වෙනුවෙන් දෙරටේ බැංකු පද්ධති එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාවක් මේ වන විට නොමැත. අනෙක් අතට දෙරට අතර ආනයන හා අපනයන අතර පවතින හිඟය හේතුවෙන් රුසියානු මුදල් ඒකකය වන ‘රූබල්’ භාවිත කරමින් ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමටද ශ්‍රී ලංකාවට හැකියාවක් නොපවතී. මෙම ගැටලුව පිළිබඳව ‘අරුණ’ සමග අදහස් පළ කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා පවතින විකල්ප ක්‍රියාත්මක කරවීමද දුෂ්කර බවයි.

‘‘අපේ මහ බැංකුව පාවිච්චි කරන්නෙ ස්විෆ්ට් (SWIFT) කෝඩ් එක. රුසියාව සමග මේ වෙලාවෙ ගනුදෙනු කරන්න නම් මේ කෝඩ් එකේ විශාල ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුයි. ඒ ගැන අවධානයක් යොමු වෙලා තියෙනවද කියලා මම දන්නෙ නැහැ. ඒ නිසා අපිට රුසියානු බැංකුවලට ගෙවීම් කරන්න බැහැ. අවශ්‍ය නම් රූබල්වලින් ගෙවනව වගේ විකල්ප අවස්ථාවකට යන්න පුළුවන්. එතනදි අපේ තේවලට රූබල් ලබාගෙන ඒ රූබල් රුසියානු බැංකු ගිණුමක තැන්පත් කරලා ඒ ඔස්සේ ඉන්ධනවලට ගෙවන්න පුළුවන්. නමුත් අපි රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩවලට තිබෙන ගෙවීම් ප්‍රමාණය වැඩියි. අපිට තේවලින් ලැබෙන ආදායමට වඩා ඒ වෙළෙඳ හිඟය නිසා රූබල්වලින් ගෙවීමත් ප්‍රායෝගික නැහැ.

ඒ වගේම අවශ්‍ය නම් අපිට රුසියාව සමග වෙනත් ක්‍රමවලින් ගනුදෙනු කරන චීනය වගේ රටක් හරහා අපිට ඉන්ධන සඳහා ගෙවිම් සිදු කරන්න පුළුවන්. නමුත් ඊට චීනය සම්බන්ධ කරගත යුතුයි.’’

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් ඉන්ධන වෙනුවෙන් රුසියාවෙන් සිදු කරන ඉල්ලීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම ප්‍රායෝගික නොවන බව අනාවරණය වේ. මේ අතර 2022 ජුනි 08 වැනිදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ රුසියාවට ගෙවීම් සිදු කිරීම සඳහා භාවිත කරන විකල්ප ක්‍රමවේදයක් වන MIR මාධ්‍යය ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම එක්සත් ජනපදය විසින් ‘අධෛර්යමත් කරන’ බවයි. එක්සත් ජනපදය විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් කිසිදු රටකට MIR ක්‍රමවේදය භාවිත නොකරන ලෙස මෙරට ඇමරිකානු තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් වේ.

Aruna