Monday, October 28, 2024
Follow Us
ලාංකිකයන් හතරෙන් එකකට ඊළඟ ආහාර වේල ගැන හිතන්නවත් බෑ – UN

ශ්‍රී ලාංකිකයන් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ජනතාවගෙන් බහුතරයකට අවම මට්ටමේ ආහාර වේලක් හෝ සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

අදාල වාර්තාවට අනුව මිලියන හයක් හෙවත් සමස්ත ජනතාවගෙන් හතරෙන් එකකට වැඩි පිරිසකට ඊළඟ ආහාර වේල ලබා ගැනීම අවිනිශ්චිත වී තිබෙනවා. එය පවුල් වශයෙන් ගතහොත් සෑම පවුල් ඒකක දහයකින්ම පවුල් ඒකක තුනක් වේ.

ලාංකිකයන්ගෙන් 61% ක් ආහාර පරිභෝජනය අඩුකර තිබෙනවා. ඇතැම් පුද්ගලයන්ට සිදුව තිබෙන්නේ පෝ්‍ෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම වෙනුවට කුමන හෝ දෙයක් අනුභව කොට කුසගින්න නිවා ගැනීමයි.

මේ අතර පවුල් ලක්ෂ දෙකක් පමණ දැඩි අවදානමට ලක්ව ඇති බවත්, එම ප්‍රමාණය ඉදිරියේදී ඉතා වේගයෙන් ඉහළ යා හැකි බවත් පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම පිරිසට ඉතා ඉක්මනින් සහනාධාර ලබාදිය යුතු බවයි.

අධික වේගයකින් උද්ධමනය ඉහළ යාම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා වීම නිසා ඇතිවන භාණ්ඩ හිගය, ආහාර නිෂ්පාදන මිල ඉහළ යාම වැනි කරුණු මේ සඳහා හේතු වී ඇති බවයි අදාල වාර්තාව පෙන්වා දෙන්නේ.

LNW