Monday, October 28, 2024
Follow Us
IMF ණය නැති වෙන වැඩක් කරලා

රටට වින කරන ඇමැති විශේෂ කමිටුව කවුරුද?


ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති ක්ලිෆර්ඩ් චාන්ස් (Clifford Chance) නමැති සමාගම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නීති උපදේශන කටයුතු වෙනුවෙන් තෝරාගැනීම හේතුවෙන් ඉදිරියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියට බාධා මතුවිය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා රජය විසින් IMF නිර්දේශනයන්ට අනුව මෙම වසරේ මැයි 24 වැනිදා ශ්‍රී ලංකාවේ මෙරට ණය උපදේශකවරුන් ලෙස ලසාඩ් (Lazard) සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන සමාගම් දෙක තෝරාගනු ලැබිණි.

නිව්යෝර්ක්, පැරිස් සහ ලන්ඩන්හි ප්‍රධාන විධායක කාර්යාල සහිත බර්මියුඩාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇති ලොව විශාලතම ස්වාධීන ආයෝජන බැංකුව ලෙස ලසාඩ් මූල්‍ය උපදේශනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත ආයතනයක් වේ.

එය පසුගිය දශකයේදී ලොව පුරා රටවල් සහ සමාගම් රැසක ඩොලර් ට්‍රිලියන 1කට වැඩි ප්‍රමාණයක ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගතකරණය කර තිබේ.

ක්ලිෆර්ඩ් චාන්ස් යනු ලන්ඩනයේ මූලස්ථානය පිහිටි නීති සමාගමකි.

ලන්ඩනය පදනම් කරගත් බහුජාතික නීති සමූහයක් වන ‘මැජික් සර්කල්හි’ සාමාජිකයකු වන ක්ලිෆර්ඩ් චාන්ස් ලොව විශාලතම නීති සමාගම් 10 අතරින් එකක් වන නමුත් රාජ්‍යයන්ගේ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඊට පළපුරුද්දක් නොමැති බව සමාගමේ ඉතිහාසය විමර්ශනය කිරීමේදී අනාවරණය වේ.

එම නිසා මෙම සමාගම කුමන පදනමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් වන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ නීති උපදේශනය වෙනුවෙන් තෝරාගෙන ඇත්දැයි යන්න මේ වන විට ප්‍රශ්නයක් වී ඇත.

මෙම උපදේශන සමාගම් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝරාගන්නා ලද මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කමිටුවේ සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ‘අරුණ’ උත්සාහ කළ නමුත් මහා භාණ්ඩාගාරයේ වගකිවයුතු නිලධාරීන් රැසක්ම ඒ පිළිබඳ තොරතුරු දැන සිටියේ නැත.

එසේම අදාළ උපදේශන සමාගම් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය අදාළ ගිවිසුම අත්සන් කරන්නේ කවදාද යන්න හෝ මෙම සමාගම්වලට ගෙවිය යුතු මූලික මුදල් ප්‍රමාණය පිළිබඳවද අදහස් දැක්වීමද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

මේ අතර ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සූදානම් වන බව ප්‍රකාශ කිරීමෙන් සති තුනකට පසුව ඉක්වදෝරයේ හිටපු මුදල් ඇමැති රිචඩ් මාර්ටිනෙස් විසින් මෙරට ඇමැති මණ්ඩලයට ලිපියක් යොමුකරමින් නිර්දේශ කර ඇත්තේ තම රටට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා උපදෙස් දුන් හෝගන් ලොවෙල්ස් (Hogan Lovells) නම් නීති උපදේශන සමාගම තෝරාගන්නා ලෙසයි.

2022 මැයි 10 වැනිදා යොමුකර ඇති එම ලිපියෙන් යෝජනා කර ඇත්තේ පසුගිය වසරේ ඉක්වදෝරයේ ඩොලර් බිලියන 19ක ණය ප්‍රමාණයක් සාර්ථකව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට දායක වූ හෝගන් ලොවෙල්ස් ශ්‍රී ලංකාව සඳහාද සුදුසුම ආයතනයක් බවය.

මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා උපදේශන සමාගම් තෝරාගත් ක්‍රමවේදය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගෙන් ‘අරුණ’ කළ විමසීමකදී ලේකම්වරයා සඳහන් කරන ලද්දේ ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් විශේෂ අධ්‍යයනයකින් අනතුරුව මෙම ආයතන තෝරාගෙන ඇති බවයි. එම අධ්‍යයනයේදී අදාළ ආයතනවල සුදුසුකම් පිළිබඳ අවධානය යොමුකර ඇති බවත්, ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත් ඉක්වදෝරයට උපදෙස් ලබාදුන් සමාගමක් පිළිබඳ ඇමැති මණ්ඩලයට යොමුකර ඇති ලිපියක් පිළිබඳ තමා තොරතුරු නොදන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna