Monday, October 28, 2024
Follow Us
මෛත්‍රීගේ ලිපියට පුටින්ගෙන් කඩිනමින් ප්‍රතිචාර

ඒරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්වය සමනය කර ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 05 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත ලිපියක් යවා තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් පුටින් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.

අදාල ලිපිය මෙරට රුසියානු තානාපති යූරි මැටෙරි මහතා විසින් සිරිසේන මහතා වෙත ඊයේ බාරදීමට පියවර ගෙන තිබිණි.

රුසියානු නායකයා සිය ලිපියෙන් දන්වා තිබෙන්නේ ඒරොෆ්ලොට් සමාගම විසින් නැවත ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා මැදිහත් වන ලෙස රුසියානු නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ඉන්ධන, පොහොර ඇතුළු ආධාර ලබාදීමට රුසියානු රජය කැමැත්තෙන් පසුවන බව රුසියානු තානාපතිවරයා පවසා තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඒ සඳහා තවමත් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව පෙන්වා දෙන තානාපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාව බළධාරීන් මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්නේ නම් රුසියාවෙන් වඩා සක්‍රීය දායකත්වයක් ලැබෙනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

LNW