Monday, October 28, 2024
Follow Us
රුසියානු තෙල් වලට ඉන්දියාවේ ඉල්ලුම ඉහළ යයි - සවුදි අරාබියට හිමිව තිබූ තැනත් රුසියාවට

ඉන්දියාවේ දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉන්දියානු පිරිපහදුකරුවන් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලදී ගැනීම හමුවේයි. ඒ අනුව මේවනවිට ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් සියයට 18%ක් හිමිව ඇත්තේ රුසියාවටයි. මීට පෙර එම ප්‍රතිශතය සියයට 1 ක්ව පැවතුනා.

ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 85 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බවයි වාර්තා වන්නේ. රුසියානු බොරතෙල් සඳහා මේවනවිට පවතින තත්ත්වය අනුව ඉන්දියාව රුසියානු බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 30කට අධික වට්ටම් යටතේ මිලදී ගන්නා බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවන්ට අනුව ඉකුත් මැයි මාසයේදී පමණක් ඉන්දියාව දිනකට රුසියාවෙන් මිලදී ගෙන ඇති බොරතෙල් බැරල් ප්‍රමාණය අටලක්ෂ 19,000 ක්. කෙසේවෙතත් ඉකුත් මැයි මාසය වනවිට ඉන්දියාවේ විශාලතම බොරතෙල් සැපයුම්කරුවා ලෙස ඉදිරියෙන් පසුවුණේ ඉරාකය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් බටහිර සහ යුරෝපානු රටවල සම්බාධකවලට ලක්ව සිටින රුසියාවේ බොරතෙල් සහ ගෑස් මිල පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම තත්ත්වය හමුවේ ආසියානු ගැනුම්කරුවන් මේවනවිට රුසියානු බොරතෙල් මිලදී ගැනීම පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

Neth