Monday, October 28, 2024
Follow Us
අමෙරිකානු නව ජනාධිපතිගේ දින 100යේ යෝජනාව

තමන් ජනාධිපතිධූරයට පත්වී පළමු දින 100 ඇතුළත් මුඛ ආවරණ පළඳින ලෙස සියලූ අමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කරන බව අමෙරිකාවට තේරීපත්වූ නව ජනාධිපති ජෝ බයිඞ්න් පවසනවා. අමෙරිකානු පුවත් සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් නව ජනාධිපතිවරයා පැවසුවේ දින 100 ක් වැනි කෙටි කාලයක් තුලදී මුඛ ආවරණ පැළඳීමට අමෙරිකානුවන් පෙළඹුනහොත්, කොරෝනා ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවීමක් ඉන් සිදුවනු ඇති බවයි.

එබැවින් සදාකාලිකව නොව, ඉතා කෙටි කාලයක් නැතහොත් දින 100 ක් පමණක් මුහුණු ආවරණ පළඳින ලෙස ජනාධිපතිධූරයේ රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදී තමන් සිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජෝ බයිඞ්න් පැවසුවේ.
එසේම තමන් ජනාධිපතිධූරයේ රාජකාරී ආරම්භ කළ පසු අමෙරිකාවේ සියලූ රාජ්‍ය ගොඩනැගිලි තුලදී මුහුණු ආවරණ පැළඳ සිටිය යුතු බවට නියෝග කරන බව ද ජෝ බයිඞ්න් අවධාරණය කළා.

ජෝ බයිඞ්න් පවසන්නේ එන්නත් සහ මුහුණු ආවරණ භාවිතයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අඩුකර ගත හැකි බව තමන් විශ්වාස කරන බවයි. කෙසේවෙතත්, ජෝ බයිඩින් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස වැඩභාර ගැනීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 20 වනදායි.

අමෙරිකාව තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස වනවා. ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 18,576 දෙනෙකු හඳුනා ගැනුණු අතර එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,918 ක්.

(Neth)