Monday, October 28, 2024
Follow Us
ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතේ ප්‍රතිඵල නිකුත් වේ

පසුගිය වසරේ අග භාගයේදී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ඇරඹුණු කොවිඩ් වසංගතය මේ වනවිට ලොව බොහෝ රටවල පැතිරී හමාරය.

ලෝක ජනගහනයෙන් මිලියන 59ක් ආසාදිතයන් බවට පත්කර ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

මෙවන් පසුබිමක චීනය, ජර්මනිය, අමෙරිකාව සහ එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් වර්ධනය කරමින් පවතී.

මේ අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) වාර්තා විණි. එම ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුවය.

එය ජයග්‍රහණයක් සේම බලාපොරොත්තු සුන්වීමක් ලෙසද අර්ථ දැක්විය හැකිය. ඒ, ෆයිසර් සහ මොඩර්නා යන අමෙරිකානු සමාගම් නිපදවා ඇති එන්නත් 95%ක් සාර්ථක බව හඳුනාගැනීම හේතුවෙනි.

නමුත් අනෙක් එන්නත් හා සාපේක්ෂව ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩුය. එසේම පහසුවෙන් ගබඩා කළ හැකිය. එසේම ලොව ඕනෑම තැනකට පහසුවෙන් මෙම එන්නත් තොග ප්‍රවාහනය කළ හැකිවීම ද විශේෂත්වයක් ලෙස සැලකේ.

නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින් ට මාස 10ක කාලයක් ගතවී තිබේ. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය ට වසර 10ක් පමණ ගතවේ.

එංගලන්තය මේවනවිට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර තිබේ. එය මිලියන 50ක පිරිසක් සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමට යොදාගත හැකිය.

(Lanka Leads)