Monday, October 28, 2024
Follow Us
වැඩිහිටියන් කොවිඩ් වලින් බේරාගත හැකි එන්නතක්

වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන එන්නතක් ලෙස ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත හැඳින්විය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඒ හේතුවෙන් විශේෂයෙන් වයස අවුරුදු 60ත් 70ත් අතර පුද්ගලයින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තු ශක්තිමත් වී ඇති බව සඳහන් වේ.

පර්යේෂකයින් පැවසුවේ නීරෝගී වැඩිහිටියන් 560 දෙනෙකු යොදාගෙන සිදුකළ දෙවැනි පෙළ අත්හදාබැලීමේ ප්‍රතිඵල බලාපොරොත්තු සහගත බවය.

මිනිස් සිරුර තුළ කොවිඩ් -19 වෛරස වර්ධනය නැවැත්විය හැකිදැයි යන්න තෙවැනි පෙළ අත්හදාබැලීම්වලදී හඳුනාගැනීමට නියමිත අතර ඒ සඳහා වඩා විශාල සාම්පලයක් යොදාගැනීමට යෝජිතය.

එහි මූලික ප්‍රතිඵල එළඹෙන සති කිහිපය තුළ නිකුත්වීමට නියමිතය.

මේ වනවිට ෆයිසර් – බයෝ එන් ටෙක්, ස්පුට්නික් සහ මොඩ(ර්)නා යන කොවිඩ් එන්නත් තුන සම්බන්ධයෙන් තෙවැනි පෙළ අත්හදාබැලීම් වල මූලික දත්ත නිකුත් වී ඇති අතර එම ප්‍රතිඵල බලාපොරොත්තු සහගත බව සඳහන් වේ.

මේ වනවිට එංගලන්තය විසින් ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 100ක්, ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත් මාත්‍රා මිලියන 40ක් සහ මොඩ(ර්)නා එන්නතේ මාත්‍රා මිලියන 5ක් ඇණවුම් කර තිබේ.

(Aruna)