Monday, October 28, 2024
Follow Us
අක්‍රමවත් ලෙස රැකියා සඳහා ඕමානයට ඇතුළුවිම වැළැක්වීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් අක්‍රමවත් ලෙස රැකියා සඳහා ඕමානයට ඇතුළුවිම වැළැක්වීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, එරට විදේශ ගමන් බලපත්‍ර හා නේවාසිකයින් පිළිබඳ අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලය සමග එක්වෙමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංක විදේශ සේව නියුක්ති කර්යාංශය පවසයි.

නව ක්‍රියාපටිපාටියට අනුව, ඕමානහි විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සහ රාජකීය ඕමාන් පොලිසිය, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ, එරට රැකියා නියෝජිත ආයතන හෝ තනි අනුග්‍රාහකයන්ට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” ඉදිරිපත් කරන්නේ නම් පමණි.

එමෙන්ම, මේ සඳහා එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුවද ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීම සඳහා මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” නොමිලේ ලබාගැනීමට රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට පහසුකම් සලසා ඇත.

ඒඅනුව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීමට අපේක්ෂා කරන සියලුම රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස උපදෙස් දෙයි.

1. එක් එක් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව මිනිස් බල අමාත්‍යාංශයට මෙන්ම ඕමාන් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අවශ්‍ය සහතික කිරීම් සඳහා ඉදිරිපත් කිරීම.

2. ඕමානයේ රාජ්‍යයේ මිනිස් බල අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව සත්‍යාපනය (Authentication) කිරිම සඳහා මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම.

3. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා ගිවිසුම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

4. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කිරීමෙන් පසු “විරෝධතාවයක් නොමැති බවට සහතිකය”, රක්ෂණය කිරීම සඳහා මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉල්ලීම් ලිපියක් සමග ඉදිරිපත් කළ යුතුය.

(news.lk)