Monday, October 28, 2024
Follow Us
නිවෙසේ සිට වැඩ කරන අයට බද්දක්

නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් සියයට 5ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් බැංකුවක ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර තිබේ.

මෙම බද්ද තුළින් රැස් කරගන්නා මුදල් සිය රැකියාවන් තර්ජනයට ලක්ව ඇති අයගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගත යුතු බව ජර්මන් ඩොයිෂේ බැංකුවේ මෙම ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

එක්සත් රාජධානිය තුළ මෙය ක්‍රියාත්මක කළහොත් වසරකට ස්ටර්ලිං පවුම් බිලියන 6.9ක් (ලංකා රුපියල් බිලියන 1,700 ක්) උපයා ගත හැකි වනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. රැකියා අහිමි වන පුද්ගලයන්ට සහ අඩු ආදායම්ලාභීන්ට වසරකට ස්ටර්ලිං පවුම් 2,000 (ලංකා රුපියල් ලක්ෂ 5 ක් පමණ ) බැගින් ගෙවීමට මෙය ප්‍රමාණවත් වනු ඇතැයි සඳහන් වේ.

මෙම ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කරන තර්කයක් වන්නේ නිවසේ සිට වැඩ කරන පුද්ගලයන් දැන් යම් මුදලක් ඉතිරි කර ගැනීමට සමත් වී සිටින බවයි. ප්‍රවාහනය, ඇඳුම්, ආහාර ආදිය වෙනුවෙන් වෙනදා තරම් ඔවුන්ට මුදල් වැය නොවන බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. ඒ නිසා ඔවුන් මත බද්දක් පැනවීමෙන් ලොකු බලපෑමක් ඔවුන්ගේ ආදායම්වලට සිදු නොවනු ඇති බව මෙම ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

කෙසේ නමුත්, අඩු වැටුප් ලබන අයගෙන් සහ ස්වයං රැකියාවල නිරත අයගෙන් මෙම බද්ද අය කර නොගැනීමටද ඔවුන් යෝජනාකර තිබේ.

ඇතැම් විශාල සමාගම් මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව වුවද තමුන්ගේ සේවකයන්ගෙන් යම් පිරිසකට පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිවෙස්වල සිටම රැකියා කිරීමට ඉඩ සලසන බවයි. මේ අනුව පෙනෙන්නේ නිවෙස්වල සිට රැකියා කිරීම ඉදිරියේ දී බොහෝ දුරට සාමාන්‍ය කටයුත්තක් බවට පත් වනු ඇති බවය.

(Aruna)