2025 ජනවාරි මාසයේ දී ශ්රි ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරන බව ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ මෙම කැපී පෙනෙන වර්ධනය ශ්රි ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරඟකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මාවත විවර කරනු ඇති බවයි.
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,004.82 කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51% ක වර්ධනයකි.
කෘෂිකාර්මික අපනයනය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 14.87% වර්ධනයක් වන අතර එය 2025 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 258.93 දක්වා ළඟා විය. කාර්මික අපනයනය ජනවාරි මාසය තුළදී 0.08% ක වර්ධනයක් වන අතර එය ඩොලර් මිලියන 745.89 කි.
2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 329.37 කි. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 37.87% ක වර්ධනයකි.
එහි ප්රතිඵලයක් ලෙස, 2025 ජනවාරි සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙස සටහන් විය.