Saturday, October 19, 2024
Follow Us
දුම්රිය ස්ථාන ආශ්‍රිත ගොඩනැඟිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කෙරේ

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන වලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම යටතේ සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඒ අනුව, කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරිමට මෙසේ අභිලාෂ කැඳවා ඇති බවත්, එහි දී ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානයන්හි පිහිටා ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම සඳහා අභිලාශය ප්‍රකාශ කිරීම් ඉදිරිපත් වී ඇති බැවින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ක්‍රමවේදය යටතේ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

මේ ආකාරයට ඇල්ල දුම්රිය ස්ථානය අසල ඉඩම් කොටස දිගුකාලීන බදු පදනම යටතේ ලක්සල ආයතනයට ලබා දී ඇති බවත්, ඉන් රජයේ තක්සේරුකරු මඟින් නියම ක‍ර ඇති පරිදි බිම් කුලිය මෙන්ම එම ආයතනයෙන් ලැබෙන අදායමෙන් 5% ක් ද වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අදායමක් ලැබෙන බවත් හෙතෙම මෙහි දී උදාහරණ වශයෙන් පැවසුවේය.

ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ දිවයිනේ අනෙකුත් දුම්රිය ස්ථාන ද සංවර්ධනය කිරීම සඳහා තරඟකාරී පදනමින් යෝජනා කැඳවා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වදිදුරටත් සඳහන් කළේය.