Saturday, October 19, 2024
Follow Us
මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළට

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර  ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති  බවයි. 

වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ,  2015න් පසු මෙම ශිෂ්‍යධාර මුදල් වැඩි වුනේ නැතත්,  මෙම කාලයේ ඉතා විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහල ගොස්  ඇති බවයි. 2022 වර්ෂයේ සිදු වූ  ආර්ථික කඩා වැටීමත් සමග මේ සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ලැබුණු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබේ.