Saturday, October 19, 2024
Follow Us
ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්

ධීවර ජනතාව දිරිගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කිරීමට ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

පසුගියදා (09) ජාතික ධීවර මහා සම්මේලනය විසින් සංවිධානය කළ ජාතික ධීවර සමුළුවේදී ධීවරයන් විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලූ ඉල්ලීම් අතර ප්‍රධාන වුයේ ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන සඳහා සහනයක් ලබා දෙන ලෙසයි.


ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉන්ධන සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම ඉන්ධන මිල අඩු කිරීම සිදුකර ඇත. තවද ඉදිරියේදී තවදුරටත් ධීවර ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


මේ අනුව පොහොර සහනාධාර හේතුකොට ගෙන කෘෂිකාර්මික අස්වැන්න වැඩිවුවා සේ ඉන්ධන මිළ අඩු කිරීම මගින් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න වැඩි කිරීමටත් ධීවරයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමටද හැකියාව ලැබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.


ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට මෙම ඉන්ධන සහනය ලබා දීමට අවශ්‍ය විදි විධාන ක්‍රියාත්මක කරන ලෙස අදාල අංශ වලට කැබිනට් ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී ඇත.