Saturday, October 19, 2024
Follow Us
ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ


- සොබාධනවි බලාගාරය අගෝස්තු 28 වනදා විවෘත කෙරේ
- අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කිරීම අරමුණයි

-පුනර්ජනීය බලශක්තිය කරා යොමුවිමේ ජනපතිගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන අවස්ථාවක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම අද (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ.


ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් මහතා සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අක්ෂේ කුමාර් සිං යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.


මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වූ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට විදුලි බලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.


පසුගිය දෙවසර තුළ විදුලි බිලට අදාළව රජයට අසීරු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට සිදු වුවද අද විදුලිබල මණ්ඩලය ණය බරින් නිදහස් ශක්තිමත් ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ නිසාම දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගන්වමින් මෙවැනි නව එකඟතාවන්ට එළැඹීමට අවස්ථාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


LTL Holdings Limited සහ Petronet LNG Limited යන සමාගම් අතර සහයෝගීතා හවුල්කාරිත්වය මගින් සොබාධනවි විදුලි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස, ඉන්දියාවේ කොචි ප්‍රදේශයේ පිහිටා ඇති පෙට්‍රොනෙට් සමාගමේ පර්යන්තයෙන් අධිශීතකරණමය පහසුකම් සහිත බහාලුම් (cryogenic ISO Containers) හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමට හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කර තිබේ. කොළඹ වරායට පැමිණීමෙන් පසුව, සෝබාධනවි බලාගාරයට යාබදව ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය ගබඩා සහ ප්‍රතිවායුකරණ පර්යන්තය වෙත ISO බහාලුම්වල LNG ප්‍රවාහනය කෙරේ.


සෝබාධනවි බලාගාරයේ පළමු අදියර 2024 අගෝස්තු මාසයේදී සහ දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමත් සමඟ මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමෙහි බලශක්ති සංවර්ධන අංශය වන ලක්ධනවි සමාගම (Lakdhanavi Limited) විසින් සංවර්ධනය කරමින්, එහි හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන මෙම බලාගාරය මඟින් වඩාත් තිරසර සහ ආර්ථික විභවයක් සහිත බලශක්ති අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ දැක්ම අනුව කටයුතු කරමින් රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සිදුකිරීමට කටයුතු කර තිබේ.
පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.
තවද, LNG හි පිරිවැය කාර්යක්ෂමතාව මගින් විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමටත්, පාරිභෝගිකයින්ට ආර්ථිකමට වශයෙන් සහනයක් ලබා දීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට සහාය වීමට මෙමඟින් හැකි වේ.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා
පසුගිය බලශක්ති අර්බුදය ඇති වූ අවස්ථාවේ මෙරට විදුලිබල අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විවිධ යෝජනා විමසා බැලු මොහොතේ ස්වභාවික ද්‍රව වායු මගින් බලශක්ති අර්බුදයට විසඳුමක් ලබාදිමටත්, පිරිවැය අඩු කර ගැනීමටත් අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දියානු රජයේ ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩාමයක් මෙරටට පැමිණි අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සඳහා මුලික යෝජනාව ලබා දුන්නා.


එම යෝජනාවෙන් අනතුරුව පසුගිය මාස කිහිපය තුළ සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස අද මෙම ගිවිසුමට අත්සන් තැබුණා. අද සිට මාස 18ක් තුළ දැනටමත් ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබෙන එල්ටීඑල් සමුහයේ පවතින බලාගාර පද්ධතියට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායුව සැපයීමේ කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සමඟ එම ප්‍රතිලාභය මෙරට ජනතාවට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.


ද්‍රවිකෘත ස්වභාවික වායුව තුළින් විදුලිබල උත්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙරට විදුලි පිරිවැය අඩු කර ගැනිමට හැකියාව ලැබෙනවා.
විදුලි බලාගාර LNG වලින් ක්‍රියාත්මක වන විට, අවම වශයෙන් වියදම 40% සිට 50% දක්වා අඩු කර ගත හැකියි. එම වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති වියදම අඩු කර ගැනීමට අප මෙමඟින් අපේක්ෂා කරනවා. මෙය පහසු කාර්යයක් නොවන බවද සඳහන් කළයුතුයි.
විශේෂයෙන්ම යුගධනවි සහ සොබාධනවි බලාගාර දෙකෙහි 2026 වසර මුලදී මෙම විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නමුත් අගෝස්තු මස 28 වනදා සොබාධනවි බලාගාරය විවෘත කිරීමට අපේක්ෂා කරනවා. පළමු වසර ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් එම බලාගාර ධාවනය කර ඉන් පසුව ස්වභාවික ද්‍රව වායුවෙන් එම ජනන කටයුතු සිදු කිරීම අවශ්‍යවීම ඊට හේතුවයි. ඒ නිසා අද මෙම අත්සන් තබන ගිවිසුම් මගින් ඉදිරි කාලයේදී විශාල වාසියක් මෙරටට විදුලි පාරිභෝගිකයන්ට ලැබීමට නියමිතව තිබෙනවා. මුල්‍යම වාසි ලබා ගැනීමට වගේම පාරිසරික හානිය අවම කර ගැනීමටද මෙමඟින් අවස්ථාව ලැබෙනවා.


ඩීසල්, දැවිතෙල්, නැප්තා භාවිතයෙන් ඉවත්විමේ ප්‍රතිපත්තියක් අප සකස් කර තිබෙනවා. මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට සැලසුම් කර තිබෙනවා වගේම ඉතිරි 30% ස්වභාවික ද්‍රව වායුව භාවිතා කරමින් සපුරා ගැනීමටත්, එය පුනර්ජනනිය විදුලි බලශක්තිය සමඟ ඒකාබද්ධ කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරමින් ඉදිරියට යාමටත් අප බලාපොරොත්තු වෙනවා.


විදුලි බිල වැඩි කිරීම වැනි කරුණු සමඟ පසුගිය වසර දෙකේදි අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. එහිදී පැය 16 ක වැනි කාලයක් විදුලිය කප්පාදු කරමින් තිබු කාලයක අඩු පිරිවැයක් යටතේ, කප්පාදු කරමින් විදුලිය ලබා දෙනවාද, නැත්නම් පිරිවැය පාලනය කරමින් අඛණ්ඩව විදුලිය ලබා දෙනවාද යන්න තීරණය කිරීමට අපට සිදු වුණා.

පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවුවත් එයින් ආර්ථිකයට සිදු වන හානිය සහ ජන ජීවිතයට වන අඩාලවීම් අප සියලුදෙනා අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම 2022 වසර වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 300ක පාඩුවක් ලබා තිබුණා. මෙරට රාජ්‍ය බැංකු දෙකෙන් ලබා ගත් ණය සහ සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු මුදල් ඒ අතර තිබුණා. එම පිරිවැය නිරූපණය වන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම තුළින් අපි අද වන විට බැංකු ණය වලින් විශාල කොටසක් ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම බලාගාර ක්‍රියාත්මක කරන සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු සියලු මදුල් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට තිබු සියලු ණය ද ගෙවා අවසන් කිරිමට අපට හැකි වුණේ එම අපහසු නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා බව කිවයුතුයි.
ඒ නිසා මෙවැනි ආකාරයේ එකඟතාවලට එළැඹීමටත්, නව ආයෝජන සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමටත් අද හැකියාව ලැබී තිබෙනවා. ඒ තුළින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මේ රටේ ජනතාවට විදුලිය ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වු සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.


ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ මහතා
විශ්වාසනීය, පිරිසිදු සහ තිරසර බලශක්ති සැපයුමක් පැවතීම සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වෙනවා. අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියා කරන බලශක්ති පිරිවැය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඉන්දියාව සමඟ නැඟී එන කලාපීය සහ ගෝලීය බලශක්ති ජාල වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම මගින් ප්‍රධාන බලශක්ති හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු දැවැන්ත හරිත බලශක්ති විභවය සැබෑ කර ගැනීමටත්, අතිරේක ආදායමක් උත්පාදනය කිරීමටත්, එමගින් ශ්‍රී ලංකාවට ප්‍රධාන බලශක්ති අපනයනකරුවෙකු බවට පත් කිරීමටත් අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උපකාරී වෙනවා.


අපගේ වර්තමාන වැඩසටහන්වලට බලශක්ති ජාල සම්බන්ධ කිරීම, යටිතල පහසුකම් සම්බන්ධතා සහ බහු-නිෂ්පාදන නල මාර්ගයක් ස්ථාපනය කිරීම ඇතුළත් වන අතර, ඒ සඳහා වන සාකච්ඡා අඛණ්ඩව සිදුකෙරෙමින් පවතිනවා. අප සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහාත් ආයෝජනය කරනවා. මෙම හවුල් අභිලාෂයන් ඉක්මනින් යථාර්ථයක් බවට පත් කිරීමට දෙරටේ රජයන් සමීපව කටයුතු කරමින් සිටිනවා. අපගේ බලශක්ති අවශ්‍යතා සහ අපගේ ජනතාවගේ අනාගත සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවයෙන් යුතුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන්හී ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම, අද අප අත්සන් තබන මෙම අවබෝධතා ගිවිසුම මගින් පෙන්නුම් කෙරෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති යූ.ඩී.ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.