Monday, October 28, 2024
Follow Us
වුහාන් සිසුන් වගේම ඉතාලියෙන් සහ කොරියාවෙන් එන අයත් නිරෝධායනය කළ යුතුයි - GMOA

දැඩි ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් ද මීට පෙර චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි සිසුන් මෙන් නිරෝධායන ක්‍රමවේදයකට ලක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

"අද දවසෙත් අපි හොයාබැලීමක් කළා ගුවන් තොටුපලේ ඒ ස්ථානවල ක්‍රියාකාරීත්වය ගැන. විශාල සංඛ්‍යාවක් එනකොට ඒ ස්ථානවල ඒ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න අපට බැරිවෙලා අද වෙනකොට. ඒනිසා අපි නැවත මතු කරනවා මේ ප්‍රශ්නය. අර වූහාන්වලින් එනකොට ඒ පිරිස් සම්බන්ධයෙන් වෙන් වෙච්චි අවධානයම - මේ වෙනකොට ඉතාලියේ නගර කිහිපයක්ම වහලා දාලා තියෙනවා. දකුණු කොරියාවෙ ඇතැම් ප්‍රදේශ ළඟාවෙන්න බැරිතැන් බවට පත්කරලා තියෙනවා - ඒ තත්වය යටතේ ඒ එන සියලු දෙනා ආවේක්ෂණ ක්‍රියාවලියකට ලක්කිරීම ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම අර වූහාන් වලින් ආපු අයට යම් විශෙෂ නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය කළා නම් අපි යෝජනා කරනවා මේ පිරිසත් - විශේෂයෙන්ම අධි අවදානම්, වහලා තියෙන නගරවලින් එන පිරිස හරි අඳුනාගෙන - විශේෂ නිරෝධායන තත්වයකට යටත් කළ යුතුයි ආයතනික ව්‍යුහයක් යටතේ. මොකද එහෙම නැතිවුණොත් එහෙම, රෝගය ව්‍යාප්ත වෙන්න ගත්තොත් එහෙම අපට අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් වෙන්නෙ නෑ. ඒනිසා අපි අඩුම ගාණෙ දැන්වත් බලාපොරොත්තු වෙනවා මේ කියන යෝජනා ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙලා ඒ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග ගනී කියලා" යනුවෙනුයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)