Monday, October 28, 2024
Follow Us
උපාධිධාරින් 28,000 කගේ අයදුම්පත් ප්‍රතික්ෂේපයි ! අයදුම්පතක්වත් හරියට පුරවගන්න බැරි උපාධිධාරීන් 14,‍000 ක් ඒ අතර !

රැකියා විරහිත උපාධිධාරීන් 55,000 කට රජයේ රැකියා ලබාදීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව මේ වනවිට තෝරාගත් උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි බෙදාහැරීම ආරම්භ කර ඇත.



උපාධිධාරීන් 70,000 ක් පමණ රැකියා සඳහා ඉල්ලුම්පත් යොමුකර තිබූ අතර එම ඉල්ලුම්පත්වලින් නියමිත ආකෘතියට අනුව නිවැරදිව ඉල්ලුම්පත් පුරවා නොතිබූ 14,000 කගේ රැකියා ඉල්ලුම්පත් පළමු වටයේදීම ප්‍රතික්ෂේප වී තිබේ. ඉතිරි 56,000 න් උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සමග මූලික සුදුසුකම් සපුරා ඇතත් මූලික නිර්ණායක සපුරා නොතිබූ තවත් අයදුම්පත් 14,000 ක් ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව රජයේ රැකියා සඳහා තෝරාගෙන තිබෙන්නේ උපාධිධාරීන් 42,000 ක් පමණි.

අද දිනයේදී පත්වීම් ලිපි තැපැල් කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත අතර රැකියාලාභීන් සියලු දෙනා පත්වීම් ලිපිය ලැබී දින 03 ක් ඇතුළත අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළයුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ. පත්වීම් ලිපිය ලැබී දින 07 ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළහොත් එම පත්වීම් අවලංගු වූවා යැයි සලකන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරන්නේ.

මෙම රැකියාලාභීන් මාස 06 ක පුහුණු කාලයකින් පසුව රාජ්‍ය සේවයේ ස්ථිර කරනු ලබන අතර පුහුණු කාලය තුළදී රුපියල් 20,000 ක මාසික දීමනාවක් පමණක් හිමි වේ. ඉන් පසුව රාජ්‍ය සේවකයන්ට හිමි සියලු හිමිකම් සහිතව ඔවුන් ස්ථිර සේවයේ පිහිටුවන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05 ක් සේවය කිරීම අනිවාර්ය කොන්දේසියකි.

(LNW)