Monday, October 28, 2024
Follow Us
විදේශ ඇමති සහ මානව හිමිකම් කොමසාරිස්වරිය අතර හමුවක්

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලෙට් මහත්මිය හමුවී සාකච්ඡා කර ඇත.

ඊයේ පස්වරුවේ ජිනීවා හිදී මෙම සාකච්ඡා පැවති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ගත් පියවර සහ ඊට හේතු වූ කරුණු පිළිබඳව අමාත්‍යවරයා යලිත් වරක් මෙහිදී මහ කොමසාරිස්වරිය හමුවේ අවධාරණය කර ඇත.

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද දේශීය යාන්ත්‍රණයක් හරහා තිරසර සාමය සහ සංහිදියාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජය කැපවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසුවේ.

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ එහි නියෝජිත ආයතනවල සහය ඇතිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලෙට් මහත්මිය මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීමසම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිය ස්තූතිය පල කර ඇත.

කෙසේවෙතත් සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කණගාටුව පල කරන බව සඳහන් කර ඇති මහ කොමසාරිස්වරිය, මහ කොමසාරිස් කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ශ්‍රීලංකා රජය ලබාදුන් සහතිකය පිළිබඳව අගය කරන බව ද ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ 43 වන මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා නුවරට ගිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.

(Lanka Leads)