Monday, October 28, 2024
Follow Us
අවසාන මොහොතේ හෝ නිවැරදි දේ කිරීම පිළිබඳව ඇමති දිනේෂ්ට ප්‍රණාමය

30/1 සහ 34/1 යෝජනාවලට අදාළව සම්මත වූ අවසාන යෝජනාව වන 40/1 යෝජනාවෙන් ඉවත් වූ පමණින් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් නොවන බවත්, ඒ නිසා එම චෝදනා අඩංගු OISL වාර්තාවට පිළිතුරු බැඳීම මඟින් අදාළ චෝදනා නිෂ්ප්‍රභා කළයුතු බවටත් ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය දිගින් දිගටම අදහස් පළකරනු ලැබීය.

එම සංවිධාන විසින් එම තර්කය මත පදනම් වූ රාජ්‍යයට පරිබාහිර සංවිධානයක් ලෙස යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම සඳහා නීති තර්ක සහ කරුණුමය සාක්ෂි සහිත විත්ති වාචිකයක් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ එම ක්‍රියාවලිය රජයක් ලෙස ඉදිරියට ගෙන ගොස් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් සහ ජාත්‍යන්තර අධිකරණ බලය නැමැති මරඋගුලින් නිදහස් කරගන්නා ලෙසය.

දැන් අවසාන මොහොතේ විදේශ අමාත්‍යංශය විසින් අදාළ චෝදනා සහිත OISL වාර්තාව විමර්ශණය කොට කරුණු දැක්වීමට තීරණය කොට ඇත. ඒ පිළිබඳ මතය ජනගත කිරීම පිළිබඳව ‘‘ලංකා ලීඩ් නිව්ස්‘‘ අප වෙත ස්තූති කළ සාහිත්‍ය ශූරී ගුණදාස අමරසේකර මහතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද ගෞරවය සහ ප්‍රණාමය පුදකරන බව පැවසීය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරුණ පුවත්පත කළ විමසීමකදී පවසා ඇත්තේ ජිනීවා නුවරදී (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බවය.

එම යෝජනා පහතින් –

1. සම අනුග්‍රහයෙන් ඉවත්වීම.
2. මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ විමර්ශන වාර්තා සමාලෝචනය කිරීම.
3. නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීම.
4. ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාමය ඔස්සේ, විසඳී නොමැති ගැටලු නිරාකරණය කිරීම.
5. ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දිම.

(Lanka Leads)