Monday, October 28, 2024
Follow Us
එයාර් බස් මිලදී ගැනීමේ වංචාවේ සමස්ත පාඩුව රුපියල් කෝටි 6,300ක් - එරාන්

වංචනික එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇත්තේ අල්ලස් වශයෙන් ගත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදල ගැන පමණක් වුවත් මෙහි සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 6,300ක පමණ මුදලකි.

"මේකෙ අලාභය ඩොලර් මිලියන 16.84ක් නෙවෙයි. අහස් යාත්‍රා ගත්තා, ඊට පස්සෙ ඒක ලීස් (කල්බදු) මාර්ගයෙන් ගත්තා. ගෙවපු ගාණයි වෙළඳපොල වටිනාකමයි අතරේ වෙනසක් තියෙනවා. එතකොට අහස් යාත්‍රා ජාති දෙකක් ගත්තා. A 330-300 එක ගත්තා. A350-900 එක ගත්තා. මුල් වර්ගෙන් 6ක් ගත්තා, පසු වර්ගෙන් 4ක් ගත්තා. එතකොට ඒවට ගෙවන ලීස් එකේ මාසික වාරිකය ගත්තාම, ඒවා ගණනය කරපුවාම මම සඳහන් කරනවා ඩොලර් මිලියන 350ක් විතර වැඩියෙන් ගෙවන ක්‍රමයට තමයි ඒක කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අවුරුදු 12ක කාලයක් තුළදී.

විශාල මූල්‍ය අපරාධයක් මෙතන සිදුවෙලා තියෙන්නෙ. කවුද මේකෙන් ප්‍රතිලාභ ලැබුවෙ ? දැනට ඔය පුද්ගලයින් දෙන්නා විතරක් සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ සිංගප්පූරු ගිණුමේ ඉඳලා ඩොලර් 800,000ක් නිමල් පෙරේරා කියන පුද්ගලයකුටත් යවා තියෙනවා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කියලා තියෙනවා.

මේක වෙලා තියෙන්නෙ ඒගොල්ලො ගනුදෙනුවක් ලෑස්ති කරලා පස්සෙ උපදේශන සමාගමක් අරගෙන ඒක සාධාරනීකරණය කරන්න වැඩ කරලා තියෙනවා කියන එකත් පැහැදිලියි. මම දන්නෙ නෑ කොහොමද ඩොලර් බිලියන 2.3ක ගනුදෙනුවකට යනකොට මුදල් අමාත්‍යාංශයෙන් විරුද්ධ වුණේ නැත්තේ කියලා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති එයාර් බස් ගනුදෙනුව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

(LNW)