Monday, October 28, 2024
Follow Us
‘‘මුළු රටටම භුක්ති විදිය හැකි බලතල බෙදීමක් අවශ්‍යයි‘‘

ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් සහිත දේශපාලන විසඳුමක් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲස් හමුවේ අවධාරණය කර තිබේ.

දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් සීමා නොවූ මුළු රටටම භුක්ති විදිය හැකි බලතල බෙදීමක් සිදුකළ යුතුයි යන්න තම අදහස බවද සම්බන්ධන් මහතා කීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲස් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් (18) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ද සහභාගී වී තිබේ.

මෙහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවේ අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය.

දෙමළ ජනතාව වෙනම රාජ්‍යක් ඕන කියල ඉල්ලන්නෙ නැහැ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමෙන් පසු වෙනම රාජ්‍යක් කියන සංකල්පය දෙමළ ජනතාව අත්හැරියා.13 වන සංශෝධයනය ප්‍රගතශීලී සංශෝධනයක් වන නමුත් එම සංශෝධනය ප්‍රකාරව මුළුමනින්ම බලතල බෙදීමක් සිදුකර නැහැ.බලයට පැමිණි සෑම රජයක්ම 13 වන සංශෝධනයට එහා ගිය විසඳුමක් ගේන්න අවස්ථා කිහිපයකදීම උත්සහදැරුවත් මේ තාක් එක් දේශපාලන විසඳුමක් ගෙන එන්නට හැකි වී නැහැ.

දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර පළාත් සඳුහා පමණක් සීමා නොකොට මුළු රටටම ගැලපෙන පරිදි බලතල බෙදීමක් සිදුකළ යුතුයි කියන එකයි අපේ අදහස.

අප වැරදි දෙයක් හෝ අයුක්ති සහගත දෙයක් ඉල්ලන්නෙ නැහැ.අපේ ඉල්ලීම් සාධාරණයි.එය ලෝකයේ බොහෝ රටවල් වටහා ගත් කරුණක්.ශ්‍රී ලංකා රජය දේශීය ප්‍රජාව හා ජාත්‍යන්තරය ඉදිරියේ වූ පොරොන්දු ඉටුකිරීම ජාත්‍යන්තරය විසින්ම සහතික කළයුතුයි.ජාත්‍යන්තරයේ මැදිහත්වීම හා සහාය මත සාධාරණ විසඳුමක් ජාතික ගැටලුවට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් සොයාගත හැකියි.

මෙහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවේ තවදුරටත් අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මෙසේද කීය.

ජාතිවාදී ආණ්ඩු පාලනයකට තිත තියන්න පුළුවන් එකම මග බලතල බෙදීම විතරයි. බලතල බෙදීම තුළින් දෙමළ ජනතාවගේ පමණක් නොව අනෙක් ප්‍රශ්නත් විසදන්න පුළුවන් වෙනවා.මේ ආණ්ඩුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.අපි කියන්නේ වාර්ගික අර්බුදයට විසඳුම් සැපයෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සකස් විය යුතුයි කියලයි.

දෙමළ ජනතාව අඛණ්ඩව එක්සත් නොබෙදුනු රටක් තුළ බලතල බෙදීමක් වෙනුවෙන් ඡන්දය ලබා දෙනු ලැබුවා.ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමට ආණ්ඩු පාලකයින් ගරු කරන්න ඕන.

මේ රටේ වෙසෙන බහුතර සිංහල ජනතාවත් පිළිගන්නා ආකාරයේ දේශපාලන විසඳුමක් ගෙන ඒමයි අපේ බලාපොරොත්තුව.බලතල බෙදීමේ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලයක් විදිහටයි බෙදුම්වාදයක් ඇතිවුණේ.මෙ නිසා ස්ථිර දේශපාලන විසඳුමක් ගෙන ඒමටත් පසුගිය කාලයේ සිදුවූවා මෙන් සිද්ධීන් මතු ඇති නොවීමට වග බලාගනිමින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි යැයිද සුමන්තිරන් මහතා කීය.

ශ්‍රීලංකාවේ ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දක්වන දායකත්වය ප්‍රශංසනීයයි.

එමෙන්ම දෙමළ ජනතාවගේ ඉල්ලීම් ද සාධාරණයි.ජාතික ගැටලුවට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය සමගින් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරනවා‘‘ යැයි සාකච්ඡාව අවසානයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲර් සඳහන් කර තිබේ.

(Lanka Leads)