Monday, October 28, 2024
Follow Us
උසස්වීම් අපේක්‍ෂිත පොලිස් නිලධාරීන්ගෙන් ස්වේච්ඡා ප්‍රකාශ කැඳවේ

පොලිස් කොස්තාපල්, සැරයන්, උප පොලිස් පරීක්‍ෂක සහ පොලිස් පරීක්‍ෂක යන ශ්‍රේණිවල 29,000 කට ආසන්න පිරිසක් සදහා ලබාදීමට නියමිත උසස්වීම් වෙනුවෙන් නිලධාරීන්ගෙන් ස්වේච්ඡා ප්‍රකාශ කැඳවා තිබෙනවා. පොලිස් ස්ථාන වෙත ඊයේ නිකුත් කෙරුණු VPN පණිවිඩයක දැක්වෙන්නේ උසස්වීම් අපේක්‍ෂිත නිලධාරීන් මෙම ස්වේච්ඡා ප්‍රකාශ සිදුකළ යුතු බවයි. උසස්වීම් සදහා සළකා බැලෙන සේවා කාලයද මෙමගින් දැනුම්දී තිබෙනවා.

පොලිස් කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස්වීමක් ලබාගැනීමට නම් 2018 වසරේ දෙසැම්බර් 31 වන දිනට වසර 13 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුයි. සැරයන් නිලයේ සිට උප පොලිස් පරීක්‍ෂක නිලයට උසස්වීමක් ලබාගැනීම සදහා එදිනට වසර 14 ක සේවා කාලයක් සපුරා තිබිය යුතු වනවා. උප පොලිස් පරීක්‍ෂක නිලයේ සිට පොලිස් පරීක්‍ෂක නිලය දක්වා උසස්වීමක් අපේක්‍ෂා කරන්නෙකු 2018 වසරේ දෙසැම්බර් 31 වන දිනට වසර 10 ක සේවා කාලයක්ද පොලිස් පරීක්‍ෂක නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලය දක්වා උසස්වීමක් අපේක්‍ෂා කරන්නෙකු එදිනට වසර 12 ක සේවා කාලයක්ද සපුරා තිබිය යුතුයි.

කෙසේවෙතත් ඉකුත් වසර 3 ඇතුළත කිසියම් චෝදනා පත්‍රයක් ලැබ සිටින්නන්ට උසස්වීම් ලබා නොදෙන බව ජාතික පොලිස් කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

උසස්වීම් ලබාදීමට නියමිතව ඇත්තේ ඇතැම් නිලධාරීන්ට ඉකුත් වසරේ ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහ සෙසු නිලධාරීන්ට මෙම වසරේ ජනවාරි මස 1 පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව උසස්වීම්වලට අදාළව ලැබිය යුතු හිග වැටුප්ද පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

(Neth)