Monday, October 28, 2024
Follow Us
ආනයනික කිරිපිටි කියලා අපි බොන්නෙ පිළිකාකාරක තෙල් වර්ග - GMOA

මෙරට ජනතාවගෙන් බහුතරයක් භාවිතා කරන ආනයනික කිරිපිටිවල කිරි අඩංගු නොමැති බවත් එහි අඩංගු කර ඇත්තේ විවිධ තෙල් වර්ග සහ රසායනික වර්ග බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාර වර්ගයක් බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.

දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගණනාවක් සඳහා මෙම ආනයනික කිරිපිටි හේතු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද පිළිගෙන ඇති බවයි අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ.

මීට පෙර ආනයනික කිරිපිටිවල අඩංගු වන්නේ කිරි නොව ඌරු තෙල් බවට දැඩි මතයක් සමාජය පුරා පැතිර ගිය අතර ඒ හේතුවෙන් ආනයනික කිරිපිටි ඉල්ලුම දැඩිලෙස පහත වැටිණි.

හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ආනයනික කිරිපිටි සමාගම්වල වෙබ් අඩවි පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ නිෂ්පාදනවල සත්‍ය තත්වය පිළිබඳව අවබෝධ කරගත හැකි බවයි. එසේම එම නිෂ්පාදනවල පැකට්ටුවේ පවා ෆාම් තෙල්, එළවළු තෙල්, මාළු තෙල් වැනි තෙල් වර්ග මෙන්ම බඩ ඉරිඟු සාරය අඩංගු බව සඳහන් වන බවත් අලුත්ගේ මහතා පවසනවා.

ෆාම් තෙල් යනු පිළිකා රෝග ගණනාවකට හේතු කාරක වන බව පෙන්වා දෙන හරිත අලුත්ගේ මහතා පවසන්නේ එය විද්‍යාත්මක පර්යේෂණ හරහා තවුරු වී ඇති බවයි. එතරම් ශරීරයට අහිතකර ෆාම් තෙල් ළදරු කිරිපිටිවල පවා අඩංගු වන බව අලුත්ගේ මහතා පවසනවා.

මෙම තත්වය අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත්කළ විද්වත් කමිටුව මේ වනවිට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාපත කර තිබේ.

(LNW)