Monday, October 28, 2024
Follow Us
කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙක් යලි පැමිණේ

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වුවා. ඔවුන් සේවය සදහා ගොස් සිටි නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර කරදර තවදුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි විට ඔවුන් එම නිවෙස් වලින් පැන යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ "සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අය වනවා.

අද දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියා.

(Neth)