Monday, October 28, 2024
Follow Us
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකළොත් 26 වනදා වැඩවර්ජනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ ආකාරයෙන් ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කර, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම පෙබරවාරි 26 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

"වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළා ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කරලා වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවට. මේ වනතුරුත් අමාත්‍යාංශය පැත්තෙන් ඊට අසමත් වෙලා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට 21 වෙනිදා වාචිකවත් 22 වනදා ලිඛිතවත් භාරදුන්නා පෙබරවාරි 03ට පෙර මේ අතුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් නොකරන්නේ නම් අපි එතනින් එහාට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බවට. හෙට දවසෙදි අපි කොළඹදි දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනවා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට.

අපි පෙබරවාරි මාසෙ 26 වනදා අනිවාර්ය ලෙසම මේ රටේ සියලුම පාසල් එක්දින වැඩවර්ජනයකට කැඳවන්න සූදානම් කරලා තිබෙනවා" යනුවෙනුයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ.

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)