Monday, October 28, 2024
Follow Us
ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් තනි සිංහල ආණ්ඩුවක් පත් කර ගත යුතුයි

ජනාධිපතිවරණයේදී කි‍්‍රයා කළ ආකාරයට තනි සිංහල ආණ්ඩුවක් පත් කිරීමට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (12 දා) සඳහන් කළහ.

රට පුරා ස්ථානගත වී ඇති අන්තවාදී අංකුර තවමත් දළු ලා වැඩෙමින් ඇති බවත්, මේ තත්ත්වය තේරුම් ගෙන එය මැඩලීමට කටයුතු කරන ආණ්ඩුවක් රටට අවශ්‍යව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණිය ද අන්තවාදය පෝෂණය කරන්නන් තවමත් නිදැල්ලේ කටයුතු කරමින් ඇතැයි සඳහන් කළ ඥානසාර හිමියෝ මොවුන් මර්දනය කිරීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු යැයි ද කියා සිටියහ.

මහ මැතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීමේදී දේශපාලනඥයින්ට ප‍්‍රමුඛතාව ලබා දී වියතුන් යම් ප‍්‍රමාණයකට පමණක් අපේක්ෂකත්වය ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද ඥානසාර හිමියෝ පැවසූහ.

රාජ්‍ය පාලනයේදී වියතුන්ගේ දායකත්වය ලබා ගැනීමට බුද්ධි මණ්ඩලයක් පත් කර ඒ තුළින් ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම උචිත බව ද ඥානසාර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ මෙම අදහස් පළ කළේ නාවල පාරේ පිහිටි ශ‍්‍රී සද්ධර්ම රාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

(Lanka Leads)