Monday, October 28, 2024
Follow Us
කොළඹ ඇතුළු නගර රැසක වාතයේ දූවිලි අංශු ඉහළට - සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

කොළඹ, මහනුවර සහ කුරුණෑගල යන නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ සෙසු නගරවල ද වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. මෙම තත්වය සංවේදී පුද්ගලයින්ට යම්කිසි බලපෑම් කළ හැකි මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා.

සමකය ආසන්නයේ පිහිටි දකුණු ආසියානු රටවල වායු දුෂණය ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේද ප්‍රධාන නගර ආසන්නයේ මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල වායු දුෂණය ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය තව දින 2-3 ක කාලයක් පවතිනු ඇති බවට අනුමාන කරනවා. වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් කැස්ස, සෙම ගතිය සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු රටවල ද මෙලෙසම වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ.

(Neth)