Monday, October 28, 2024
Follow Us
රැකියා ප්‍රශ්නවලට විසඳුම් නෑ. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ගණනාවක් !

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව රැකියා අහිමි කෙරුණු සේවකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (10) දිනයේදී ද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් විරෝධතා දක්වනු දැකගත හැකිවිය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී රැකියා අහිමි වූ පිරිසක් සහ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරමින් සිටියදී රැකියා අහිමිවූ පිරිසක් ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වූ අතර පොලිසිය සහ කැරළි මර්ධන ඒකකය විසින් ඔවුන්ව උද්ඝෝෂණ සඳහා වෙන්කළ භූමියට තල්ලු කර දමන ලදී. එහිදී සේවකයින් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.

එසේම වසර 5කට අධික කාලයක් සේවය කළ ද සේවය ස්ථිර නොකරන ලද දුම්රිය සේවකයින් 1500කට අධික පිරිසක් ද ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

මේ අතරම මරදාන දුම්රිය ස්ථානය අසල සහ කොටුව දුම්රිය ස්ථානය අසල ද මෙසේ අනියම් සහ ආදේශක සේවකයින් උද්ඝෝෂණයෙහි නිරත වී සිටි අතර රත්මලාන දුම්රිය අංගනයෙහි ද ඔවුන් විරෝධතා දක්වනු දක්නට ලැබිණි.

මෙම විරෝධතාකරුවන් අතරින් නියෝජිතයින් කිහිපදෙනෙකුට අවස්ථා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් හමුවීමට අවස්ථාව ලබාදුන් නමුත් එම සාකච්ඡා සාර්ථක වී තිබුණේ නැත.

(LNW)