Monday, October 28, 2024
Follow Us
කෝප් කමිටු සභාපති ධුරය මහින්දානන්දට ?

පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.

එම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පසුගිය බදාදා දිනයේදී සිදු කෙරුණු අතර අද එම කාරක සභා පළමු වරට රැස්වීමට නියමිතය.

මෙම පළමු රැස්වීමේදී එම කමිටු සාමාජිකයින්ගේ එකඟතාව අනුව සභාපතිවරුන් පත් කරගැනීම සිදු කෙරේ.

එහිදී පොදු ව්‍යාපාර කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ වංචා සහ දූෂණවලට එරෙහිව "ටොප් 10 කම්බාහොරු" නමැති ග්‍රන්ථයක් ද රචනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙනගිය දූෂණ විරෝධී සටන සලකා බලා ඔහුට මෙම තනතුර ලබාදිය යුතු බවට පොහොට්ටුවේ මැති ඇමතිවරුන් පිරිසක් කරුණු දක්වා ඇති බව සඳහන්.

(LNW)