Sunday, October 27, 2024
Follow Us
චීනයේ සිටින තවත් ශී‍්‍ර ලාංකික සිසුන් 45 දෙනෙකු අද දිවයිනට

චීනයේ සිටින තවත් ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ දක්වා චීනයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් 608 දෙනෙකු පැමිණ ඇති බවයි චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කේ. කේ. යෝගනාදන් නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඒ අනුව චීනයේ සිටින තවත් ශී‍්‍ර ලාංකික සිසුන් 45 දෙනෙකු අද දිවයිනට පැමිණෙනු ඇති.

අධ්‍යාපන කටයුතු හේතුවෙන් චීනයේ තවදුරටත් රැඳී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් වෙනුවෙන් ඕනෑම උපකාරයක් කිරීමට චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලය සූදානම් බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර නව කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්තව තිබූ චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට පැමිණි ශී‍්‍ර ලාංකික සිසුන් 33 ඇතුළු පිරිස තවදුරටත් දියතලාව යුධ හමුදා රෝහලේ නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා යොමු කර සිටිනවා.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොලේ දෛනිකව කටයුතු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ති‍්‍රපුද්ගල කමිටුවක් ඊයේ (01) පත් කළා.

මේ අතර IDH ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබන නව කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළා.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ විදේශිකයින් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට IDH ජාතික බෝවන රෝග විද්‍යායතනය, රත්නපුර, ගම්පහ සහ කරාපිටිය ශික්‍ෂණ රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා.

සිදු කෙරුණු මූලික පරීක්‍ෂණවලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

(Neth)