Sunday, October 27, 2024
Follow Us
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රෑ එළිවන තුරු විරෝධතා

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට, ගාලු පාරේ එක් මංතීරුවක් ද අවහිර කරමින් ඊයේ (30) පස්වරුවේ සිට රාත්‍රිය පහන් වන තුරුම සේවක සංගම් කිහිපයක් සහ ශිෂ්‍ය සංවිධානයක් විරෝධතා පවත්වනු දැකගත හැකි විය.

නව රජය බලයට පැමිණීමෙන් පසු සිය රැකියා අහිමි වූ බව කියන ඛනිජ තෙල් සංස්ථාවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ සේවක පිරිසක් සහ විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් පිරිසක් මෙසේ විරෝධතා පැවැත්වූහ.

පුරාවිද්‍යා සහ ඛනිජ තෙල් සේවකයින් පැවසුවේ ඊයේ උදෑසන පටන් අවස්ථා කිහිපයකදීම ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් ඒ එකක්වත් සාර්ථක නොවූ බවයි. තමන්ගේ ඉල්ලීම වන්නේ තමන්ව ස්ථිර කරන තුරු සේවය දීර්ඝ කිරීමක් ලබාදෙන ලෙස පමණක් බව පැවසූ ඔවුන් අවධාරණය කළේ අද දිනයේත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව විරෝධතාවයේ නියැළෙන අතර විසඳුම් නොලැබුණහොත් හෙට දිනයේදී සිය අඹු දරුවන් ද සමඟ පැමිණ සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව උද්ඝෝෂණය කරන බවයි.

එසේම විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැවසුවේ තමන්ට ද ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ලැබුණු සාකච්ඡාවේදී ලැබුණු විසඳුම් සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට කිසිසේත්ම නොහැකි නිසා අඛණ්ඩව සත්‍යග්‍රහයක නියැළෙන බවයි.

(LNW)