Sunday, October 27, 2024
Follow Us
හිස්බුල්ලා නැඟෙනහිර හැදූ විශ්වවිද්‍යාලය වැනි තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් බේරුවල – විශේෂ හෙළිදරව්ව

එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා විසින් ඉදිකෙරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය වැනි තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේත් ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණ විය.

ඒ මුස්ලිම් මවුලවීවරයකුගෙන් එම කොමිසම අද ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදියී.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙනී සිටියේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට භාරදෙන බව පැවසූ මොහොමඩ් සාලී මොහොමඩ් තාසීම් නම් මවුලවීවරයායි.

සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් ධුරය දරන ඔහු ජමියතුල් උලමා සංවිධානයේද සාමාජිකයෙක්.

ඔහු කොමිසමට ප්‍රකාශ කළේ තමන් මහරගම පමුණුව පාරේ පිහිටි ගෆූරියා අරාබි පාසලෙන් අරාබි භාෂාව වසර 7ක් පමණ ඉගෙනගෙන පසුව සවුදි අරාබියට ගොස් එහි විශ්ව විද්‍යාලයකින්ද වසර 3ක් අරාබි භාෂාව හැදෑරු බවයි.

පසුව යළි මෙරටට පැමිණ සෙයිලාද් නම් මුස්ලිම් තරුණ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඒ හරහා සමාජ සේවාවේ නිරත වූ බව ඔහු කොමිසමට ප්‍රකාශ කළේය.

කොමිසම එහිදී විමසුවේ එම සංවිධානයට මුදල් ලැබෙන්නේ කෙසේද යන්නයි.

දේශීය වශයෙන් අල්හාජ් රමේෂ් සහ අල්හාජ් රිස්වි යන අය මුදල් ලබාදුන් බවත් සෞදිය,කුවේටය සහ ඩුබායි යන රටවලින්ද මුදල් ආධාර ලැබුණු බවත් මවුලවීවරයා කොමිසමට පැවසුවේය.

එම මුදල්වලින්, Happy Family යන නමින් තරුණියන්ට පංති පවත්වා ඉවුම් පිහුම් පිළිබඳ සහ දික්කසාද පිළිබඳ දැනුම ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

පසුව කොමිසම ඔහුගෙන් විමසුවේ ජමියතුල් උලමා සංවිධානය රට පුරා අරාබි පාසල් පිහිටුවා ඇතිද යන්නයි.

මවුලවීවරයා සඳහන් කළේ මක්තබ්,අහදියා හෙවත් ඉරිදා දහම් පාසල් සහ සහ ජාමියා හෙවත් මද්‍රසා ලෙස කාණ්ඩ ගත කොට පාසල් පිහිටුවා ඇති බවයි.

රට තුළ මද්‍රසා පාසල් කීයක් තිබේද යන පැනය කොමිසම ඇසු විට, 215ක් යැයි පැකිලෙමින් පිළිතුරු දුන් මවුලවිවරයා ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ තොරතුරු දන්නා බවයි.

අනතුරුව කොමිසම විමසා සිටියේ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළේ කුමක්ද යන්නයි.

එය ජාමියා හෙවත් විශ්ව විද්‍යාලයක් ලෙස මවුලවීවරයා හඳුන්වා දුන්නේය.

මෙරට ඇත්තේ එම විශ්ව විද්‍යාලය පමණද යන්න කොමිසම ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මවුලවීවරයා ප්‍රකාශ කර ඇත්තේ තවත් එවැනි විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඉදිකර ඇති බවයි.

එය ජාමීයා නලීමියා හජ්ජියාර් නමින් හඳුන්වන අතර එහි මවුලවීවරුන් පුහුණු කිරීම සඳහා ඉස්ලාම් ආගම උගන්වන බව තාසීම් මවුලවීවරයා පවසා තිබේ.

ඊට මුදල් ලබා දී ඇත්තේද නලීමියා ජාමියා නැමැත්තෙක් බවද කොමිසමට හෙළි කෙරුණේය.

මෙවැනි මද්‍රසා ,අහදියා සහ ජාමීයා නමින් පාසල් ආරම්භ කිරීමට නම් ඒ පිළිබඳ ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කළ යුතු බවද මවුලවීවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව කොමිසම විමසුවේ අරාබි පාසල් ලියාපදිංචි කිරීමට පෙර මුස්ලිම් දෙපාර්තමේන්තුවෙන් විමසනවාද යන්නයි.

එහිදී මවුලවිවරයා පැවසුවේ ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ඉදිරි දිනක මෙහි පැමිණ ඊට පිළිතුරු දෙනු ඇති බවයි.

අනතුරුව කොමිසම විමසුවේ මද්‍රසා පාසල්වල විෂය නිර්දේශය සකසන්නේ කවුරුන්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ එක් එක් පාසල් ඒ ඒ අයට අවශ්‍ය ලෙස විෂය නිර්දේශය සකස් කරන අතර එම විෂය නිර්දේශ ජමියතුල් උලමා සංවිධාන සාමාජිකයින්ගෙන්ද සමන්විත කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙන බවයි.

ඒ අනුව විදෙස් පුද්ගලයින් පැමිණ මද්‍රසා පාසල්වල දේශනා පැවැත්වූ බව පිළිගන්නේදැයි ඇසූ විට මවුලවීවරයා ලබාදුන්නේ ඔව්,එය විය හැකියි යන්නයි.

ඊජිප්තු තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයින් දරුවන්ට කුරාණය පිළිබඳ සහ අරාබි භාෂා දැනුම ලබාදෙන බවත්,තමන්ද එලෙස අධ්‍යාපනය හදාරා තිබෙන බව මවුලවිවරයා එහිදී පැවසුවේය.

එහිදී කොමිසම යළි විමසුවේ ඔබ වැනි අය විදේශයන්ට ගොස් අරාබි භාෂාව හදාරා යළි පැමිණ සිටියදී විදේශිකයින් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දුන් තාසීම් මවුලවී පැවසුවේ තමන්ට සියයට සියයක් අරාබි භාෂාව ඉගැන්වීමට නොහැකි බවයි.

(Lanka Leads)