Sunday, October 27, 2024
Follow Us
චීනයේ සිට ඊජිප්තු යන නැවක සිටින ලංකාවේ හයකටත් කොරෝනා

චීනයේ සිට ඊජිප්තු බලා ගමන් කරමින් ඇති නෞකාවක කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය සඳහන් කරයි.

සී.එම්.ඒ.ඩී.ජී.එම්. ඌරල් නමැති නෞකාවේ මෙම ශ්‍රී ලාංකිකයෝ රාජකාරි කටයුතු සිදු කරති. මෙම නෞකාව සූවස් ඇළ හරහා ඊජිප්තුව බලා ගමන් කරයි. ශ්‍රී ලාංකිකයින් හය දෙනා කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමයේ සභාපති පාලිත අතුකෝරාල පවසයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය තමන්ද දැනුවත් කළ බව වරාය අමාත්‍යාංශයේ වෙ​​ළඳ නෞකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න පවසයි. එම දැනුවත් කිරීම මත නෞකාව අයත් සමාගමේ දේශීය නියෝජිතයාගෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති බව ඔහු පැවැසීය. නෞකාවේදී එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය පහසුකම් ඇති බවද නෞකාව අයත් දේශීය සමාගම දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේය.

ඩී.එම්.ඒ.සී.ජී.එම්. ඌරල් යන මෙම වෙ​​ළෙඳ නෞකාව චීනයේ වරාය තුනක දින පහක් නවතා තබා ඇත. චීනයේ නින්ග්බෝ වරාය, ෂියාමෙන් වරාය සහ ෂෙකොවු වරායේ මෙලෙස මෙම නෞකාව නතර කර තිබිණි. මෙම නෞකාව එළැඹෙන 30 වැනිදා ඊජිප්තුවට ළඟාවීමට නියමිතය. නෞකාව ගාල්ලට ආසන්න මුහුදු තීරයේ ඊයේ (27 වැනිදා) ගමන් කර ඇත.

(Aruna)