Sunday, October 27, 2024
Follow Us
චීනයේ සිට පැමිණි පළමු සිසුන් පිරිස විශේෂ නිරෝධායනයකින් තොරව නිවෙස් කරා යවලා !

චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිට ඊයේ (27) දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනා විශේෂ නිරෝධානයකින් තොරව, මූලික පරීක්ෂණයකින් පසු නිවෙස් කරා පිටත් කර තිබේ.

ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණේ ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ බැවින් නිවෙස් කරා පිටව ගිය බවය.

කෙසේවෙතත් දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති පළමු නව කොරෝනා වෛරස් රෝගියා වන කාන්තාව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ පසුගිය 19 වනදා වන අතර ඇයට රෝග ලක්ෂණ පහළ වී තිබුණේ ඇය සිය සංචාරය නිමවා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සූදානම් වන මොහොතේය.

නව කොරෝනා වෛරසය සම්බන්ධ සෞඛ්‍ය වාර්තා අනුව මෙම වෛරසය රෝග ලක්ෂණ පෙන්වීමට සති දෙකක කාලයක් ගතවිය හැකි අතර එම කාලසීමාව තුළ ද වෛරසය රෝගියාගෙන් තවත් පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව පවතී.

ඒ අනුව චීනයේ සිට පැමිණෙන සිසුන් නිවෙස් කරා යැවීමට පෙර නිසි නිරෝධායන ක්‍රමවේදයක් සහ කාලසීමාවක් සකස් කළ යුතුව තිබුණ ද එවැන්නක් තවමත් සිදුව ඇති බවක් නොපෙනේ.

එහෙයින් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය පැතිර යාමට හැකි අවදානම අවම වන පරිද්දෙන් විශේෂ නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ද අතිශයින්ම වැදගත් බව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුව තිබේ.

අද දිනයේ තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබිණි.

(LNW)