Sunday, October 27, 2024
Follow Us
චීනයේ සිටින සිසුන්ට ලංකාවට ඒමට 50% වට්ටමක් - අවදානම් නගරවල සිසුන් රජයේ වියදමින් ගෙන්වීමට පියවර

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නැවත මෙරටට පැමිණීම සඳහා විශේෂ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට අවශ්‍ය චීනයේ සිටින සිසුන්ට ජාතික ගුවන් සේවය හරහා සියයට 50 ක වට්ටමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ බීජිං සහ කැන්ටන් සිට ගුවන් ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකෙරෙන බවයි.

මීට අමතරව, දැනට චීනයේ සිටින සිසුන් සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ සිවිල් ගුවන් සේවා හා සෞඛ්‍ය බලධාරීන් මෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මේ වන විට සාකච්ඡා ද ආරම්භ කර අවසන්.

මේ අතර කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවර සිටින සිසුන් 150 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමටයි ආණ්ඩුවේ සැලසුම් වී ඇත්තේ. ඒ සඳහා අද සිට කටයුතු සිදුවන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ. මෙම කටයුතුවලදී සිදුවන වියදම් රජය දැරීමට සූදානම් බවත් පෙන්වා දුන්නා.

වූහාන් ප්‍රාන්තයට පිවිසීම සහ පිටවීම චීන බලධාරීන් දැනටමත් තහනම් කර ඇති බැවින් එහි සිටින සිසුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වන්නේ එම තහනම ඉවත් කිරීමෙන් පසුවයි. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ පැවසුවේ චීනය පුරා විසිරී සිටින සියලු සිසුන් සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බවයි.

මේ අතර, චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිටින විදේශිකයින් ඔවුන්ගේ රටවල් විසින් මේවනවිට ගෙන්වා ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව ජපන් ජාතිකයින් යළි ජපානයට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කටයුතු සූදානම් කර ඇතැයි සඳහන්.

වූහාන් ප්‍රාන්තයේ සිටින අමෙරිකානු ජාතිකයින්, හෙට දිනයේ විශේෂ ගුවන් යානයකින් සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගෙන්වා ගැනීමටයි ඇමෙරිකා එක්සත් ජනපදය ද කටයුතු යොදා ඇත්තේ.

බ්‍රිතාන්‍ය ද සිය රට වැසියන් යළි ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් චීනයට යැවීමට තීරණය කර තිබෙනවා.

(Neth)